මොන්ගියාගේ වාර්තාව අවුරුදු 30 කින් පුතා ගනියි

පියා නයන් මොන්ගියා (දකුණේ) සහ පුත් මොහිත් මොන්ගියා (වමේ)

1990 දශකයේ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නා වූ නයන් මොන්ගියාගේ වාර්තාවක් ඔහුගේ පුතා වන මොහිත් මොන්ගියා විසින් බිඳ දමා තිබේ.
ඉන්දියාවේ පැවැත්වෙන කෝච් ඛෙහාර් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී නයන් මොන්ගියා විසින් 1988 දී පිහිටවූ වාර්තාව ඔහුගේ පුතා විසින් බිඳ දමා ඇත්තේ වසර 30 කට පසුව වීමද විශේෂත්වයකි. බාරෝදා කණ්ඩායමේ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා වන මොහිත් මොන්ගියා කේරල කණ්ඩායමට එරෙහිව පන්දු 266 කදී ලකුණු 260 ක් ලබා ගනිමින් එම තරගාවලියේදී සිය පියාගේ වාර්තාව සියතට ගැනීමට සමත්ව තිබේ.
මීට පෙර නයන් මොන්ගියා විසින් 1988 දී මෙම තරගාවලියේදීම ලකුණු 224 ක් ලබා තිබීම පැරණි වාර්තාව විය. නයන් මොන්ගියා ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 44 කදී ශතකයක් සහ අර්ධ ශතක හයක් සමග ලකුණු 1442 ක් ලබා ඇති අතර කඩුලු රකින්නකු ලෙස උඩපන්දු 99 ක් සහ ස්ටම්ප් කිරීම් අටකට දායක වී තිබේ. ඔහු එක්දින තරග 140 කදී අර්ධ ශතක දෙකක් සමග ලකුණු 1272 ක් ලබා ඇති අතර උඩපන්දු 110 ක් සහ ස්ටම්ප් කිරීම් 44 කට දායක වී තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති ටෙස්ට් තරගයකදී සනත් ජයසූරිය පන්දුවට පහර දෙන විට මොන්ගියා කඩුලු රකින අවස්ථාව
මොන්ගියා සහ සචින් ටෙන්ඩුල්කාර්