ලකුණු නැතිව පන්දු යැවූ සුරංග ලක්මාල්ගෙන් නව වාර්තාවක්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කොල්කටා ඊඩ්න් ගාර්ඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක වේග පන්දු යවන්නා වූ සුරංග ලක්මාල්ගේ පළමු පන්දු 46 කටම ඉන්දියානුවන්ට ලකුණු ලබා ගැනීමට නොහැකි වෙද්දී ඔහු කඩුලූ තුනක් බිඳ දැමීම නව වාර්තාවක් ලෙස සටහන් වේ.
ලක්මාල් පන්දු ඕවර 7.4 ක් යැවීමෙන් පසුව ඉන්දියානුවන්ට ලකුණක් ලබා ගැනීමට හැකි වෙද්දී ඔහු විරාට් කෝලි, ෂිකර් ධවාන් සහ ලොකේෂ් රාහුල් තිදෙනාවම දවා ගැනීමට සමත් විය. මීට පෙර ටෙස්ට් තරගයකදී පළමු පන්දු ඕවර සංඛ්‍යාවෙන් වැඩිම පන්දු සංඛ්‍යාවක් ලකුණු ලබා නොදීමට සමත්ව ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජෙරම් ටේලර්ය.
ජෙරම් ටේලර් 2001 දී ජැමෙයිකාවේදී ඔස්ටේ්‍රලියාවට එරෙහිව පළමු පන්දු 40 ම ලකුණු ලබා නොදී යැවීමට සමත්ව තිබේ. කෙසේ වෙතත් සුරංග ලක්මාල්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් ඉන්දියානුවන්ගේ පළමු කඩුලූ පහම ලකුණු 50 ක් වන විටි අහිමි විය. එහිදී සිව්වැනි සහ පස්වැනි කඩුල්ල දසුන් ශානක විසින් දවා ගන්නා ලදී. ලක්මාල්ගේ පළමු පන්දු ඕවර 11 නිලකුණු ඕවර 9 යි, ලකුණු 5 යි, කඩුලු 3 ක් වශයෙන් සටහන් විය.
මෙම තරගයට පෙර ලක්මාල් ක්‍රීඩා කළ ටෙස්ට් තරග 39 කදී කඩුලූ 88 ක් බිඳ ඇති අතර එහිදී ඉනිමක කඩුලු හතර බැගින් දෙවතාවක් සහ පහ බැගින් එක් වතාවක් බිඳ දමා තිබේ. ඔහුගේ හොඳම පන්දු යැවීම සටහන් වන්නේ 2016 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පෝට් එලිසඛෙත් හී ලකුණු 63 කට දවා ගත් කඩුලු පහයි.

සුරංග ලක්මාල් විසින් ෂිකර් ධවාන්ව දවා ගත් අවස්ථාව..