ශ්‍රී ලංකා සිම්බාබ්වේ සටනට පල්ලකැලේ එළිය වෙයි

සංචාරක සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර, දිවා රාත්‍රී එක්දින ක්‍රිකට් තරගාවලිය  (16) පස්වරු 2.30ට පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ජගත් ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සුපිරි ලීගයට අයත් මේ තරගාවලියට තරග 3ක් ඇතුළත් වෙයි. එම ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකා පිල හෙට එක් වන්නේ 16 වැනි තරගයට වන අතර, සිම්බාබ්වේ කණ්ඩායමේ 10 වැනි තරගයයි.

සහභාගි වූ තරග 15න් 4ක් ජය ගනිමින් ශ්‍රී ලංකාව මේ ශූරතාවලියේ 7 වැනි තැන පසු වන අතර, සිම්බාබ්වේ පිල අවසන් ස්ථානයේ (13) පසු වන්නේ තරග 9කින් දෙකක් ජය ගනිමිනි.

ශ්‍රී ලංකා පිල මේ තරගාවලිය 3-0 හෝ 2-1ක් ලෙස ජය ගැනීමට සමත් වුව හොත් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට යෑමට අවස්ථාව තිබේ. සිම්බාබ්වේ පිල 3-0කින් ජය ගත හොත් 6 වැනි තැනටත්, 2-1කින් ජය ගත හොත් ශ්‍රී ලංකාවට වඩා පියවරක් ඉහළටත් (6) යෑමට අවස්ථාව ඇත.

මේ දෙරට එක්දින පිටියේදී හෙට හමුවන්නේ 58 වැනි තරගයෙනි. මින් පෙර පැවති තරගවලදී වැඩි ගෞරව හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත්තේ තරග 44ක් ජය ගනිමිනි. සිම්බාබ්වේ පිල තරග 11ක් ජය ගනිද්දී තරග 2ක් ජය පරාජයෙන් තොරව නිමා වී තිබේ.

දෙරට අතර, ද්වීපාර්ශ්වික එක්දින තරගාවලි 6ක් පවත්වා ඇති අතර, ඉන් අවසන් වරට ශ්‍රී ලංකාවේ පැවති තරගාවලියෙන් ඉතිහාසගත ජයක් හිමි කර ගැනීමට සිම්බාබ්වේ පිල සමත් විය. ඉන් පෙර පැවති තරගාවලි 5ම පරාජය වී සිටි සිම්බාබ්වේ පිල 2017 වසරේ ජූනි – ජූලි කාලයේ මෙරටදී පැවති තරගාවලියේ පළමු තරගය ජය ගනිමින් ශ්‍රී ලංකා භූමියේදී පළමු එක්දින තරග ජය වාර්තා කළ අතර, ඔවුන් ඉතිහාසයේ පළමු එක්දින තරගාවලිය ජය වාර්තා කළේ 3-2ක් ලෙසිනි.

මේ දෙපිල අවසන් වරට බංග්ලාදේශයේ පැවති තුන්කොන් තරගාවලියේදී එකිනෙකා හමු වූ අතර, එහි තරග දෙකකින් දෙපිල එක් තරගය බැගින් ජය ගෙන තිබේ.

මේ අතර, වසරක අන්තර්ජාතික ක්‍රිකට් තහනමකට ලක්ව සිට මාස 6කට පසු ඉන් නිදහස් වූ කුසල් මෙන්ඩිස් සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මේ තරගාවලියෙන් යළි ජගත් තරග බිමට පිවිසීම විශේෂත්වයකි.

එහිදී නව වගකීමක් පවරමින් ආරම්භක පිතිකරුවකු ලෙස මෙන්ඩිස් කටයුතු කරනු ඇතැයි ඊයේ පෙවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක පැවසීය.

එල්පීඑල් තරගාවලියේ නැඟී එන ක්‍රීඩකයා බවට පත් වූ ජනිත් ලියනගේ මේ තරගාවලියට එක් කිරීමට තේරීම් කමිටුව කටයුතු කළ අතර, ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා ඒ වෙනුවට එල්පීඑල් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් සංචිතයට එක් කෙරිණි. මේ සංචිතයට නම් කර සිටි කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුක පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක් වීම හේතුවෙන් දික්වැල්ලට අවස්ථාව හිමි විය.

අතිරේක ක්‍රීඩකයකු ලෙස නම් කර සිටි අෂේන් ඩැනියෙල් ද සංචිතයට කැඳවා ඇත්තේ කොරෝනා වයිරසයට ගොදුරු වීම හේතුවෙන් තරගාවලිය අහිමි වූ කමිල් මිෂාර වෙනුවටය.

මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට පළමු තරගය අහිමි වනු ඇතැයි ද දසුන් ශානක පැවසීය.