රජයේ මුදල් කෝටි ගණන් ගිල්ල සෙල්ලම…..

දකුණු ආසියා ක්‍රීඩා උලෙළේදී අසාර්ථක අයථා ප්‍රතිඵල ලැබූ ක්‍රීඩා 6ක් පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදු කළ යුතු බව දකුණු ආසියා ක්‍රීඩා උලෙළ සඳහා ශ්‍රී ලංකා සහභාගීත්වය හා ප්‍රගති සමාලෝචන කමිටු වාර්තාව කියයි. පාපැදි, පැසිපන්දු, වොලිබෝල්, බොක්සිං, කරාටේ සහ හෑන්ඩ්බෝල් යන ක්‍රීඩා වෙනුවෙන් මේ විශේෂ විමර්ශනය ආරම්භ කළ යුතුව ඇතැයි පිටු 42කින් යුත් වාර්තාවෙන් පෙන්වාදී ඇත.

දකුණු ආසියා ක්‍රීඩා උලෙළ සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වෙමින් පවතිද්දී ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා විසින් ප්‍රගති සමාලෝචනය උදෙසා සිවු පුද්ගල කමිටුවක් පත් කළ අතර, එම කමිටුව පැය 75ක් තුළ ක්‍රීඩා උළෙලට සහභාගී වූ නිලධාරීන්ගේ හා මාධ්‍යවේදීන්ගේ තොරතුරු පදනම් කොට වාර්තාව සකස් කොට ඇත.

ඉතා විශාල වියදමක් දරා විදේශ පුහුණුකරුවන්ගේ සහාය මත ඇතැම් ක්‍රීඩා නියෝජනය කළ ද අසාර්ථක ප්‍රතිඵල ලැබීමට තරග පාවා දීමේ අවස්ථා පුහුණුකරුවන්ගේ, කළමනාකරුවන්ගේ හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නොසැලකිල්ල බලපා ඇතැයි සඳහන් වේ.

එමෙන්ම තරග විනිසුරුවන් දුන් අසාධාරණ තීන්දු, නියමිත ක්‍රීඩා උපකරණ නොමැතිව තරග සඳහා ඉදිරිපත් වීම, ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දුන් අනවශ්‍ය පීඩනය, පූර්ව තරග සමයේ (ශ්‍රී ලංකාව තුළ) ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් මුහුණ දුන් ගැටලු හා සුදුසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් කිරීම පිළිබඳ ක්‍රීඩා සංගම් දක්වන ලද දුර්වලතා අසාර්ථක ප්‍රතිඵල ලැබීමට හේතු වී තිබේ.

තරග පාවා දීමේ අවස්ථා, පුහුණුකරුවන්ගේ කළමනාකරුවන්ගේ හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නොසැලකිල්ල මත වොලිබෝල්, පාපැදි, වුෂූ, කාන්තා පැසිපන්දු යන ක්‍රීඩා කණ්ඩායම්වලට සෘජුවම චෝදනා එල්ල වී ඇත. පුහුණුකරුවන්ගේ කළමනාකරුවන්ගේ හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නොසැලකිල්ල මත ක්‍රිකට්, ටෙනිස්, ස්කොෂ්, බැඩ්මින්ටන් හා ටයිකොන්ඩෝ කණ්ඩායම්වලට සාක්ෂි දුන් පිරිස් චෝදනා ඉදිරිපත් කරති.

ක්‍රීඩා උලෙළට නිරීක්‍ෂකයන් ලෙස සහභාගී වූ නිලධාරීන් කමිටුව ඉදිරියේ අවධාරණය කර ඇත්තේ නොසැලකිල්ල මත රන් පදක්කම් මෙන්ම රිදී සහ ලෝකඩ පදක්කම් රාශියක් රටට අහිමිව ගිය බවයි. මේ සියලු කරුණු කරුණු පිළිබඳ ගවේෂණාත්මක විශ්ලේෂණයක යෙදී ඇති කමිටුව පදක්කම් අහිමි වීම ප්‍රධාන ධාරාවන් දෙකක් යටතේ සිදුව ඇති බව සනාථ විය.

මේ ක්‍රීඩා උලෙළේදී රන් පදක්කම 8ක් ශ්‍රී ලංකාවට අහිමිවී ගිය බව පෙන්වා දෙන කමිටු වාර්තාව, තාක්ෂණික දෝෂ හා අසනීප තත්ත්වයන් මත මලල ක්‍රීඩා රන් පදක්කම් 6ක් හා අසනීප තත්ත්වයන් මත පිහිනුම් රන් පදක්කම් 2ක් වන බව හඳුනාගෙන ඇත. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සියල්ල තමන් අතට ගෙන පාලනය කිරීමේ අසාර්ථක උත්සාහයක් තිබූ බව අමාත්‍යාංශයේම නිලධාරීන් කමිටුව හමුවේ සඳහන් කර ඇත. ජාතික ඔලිම්පික් කමිටුවේ කටයුතු කරගෙන යාමට ඔවුන්ට ඉඩ දිය යුතුව තිබූ බවද පෙන්වාදී ඇත.

කත්මණ්ඩු දකුණු ආසියා ක්‍රීඩා උලෙළට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 575ක්, නිලධාරීන් හා සම්බාහකයන් 210ක් වෙනත් නිලධාරීන් 20ක් හා මාධ්‍යවේදීන් 20ක් වෙනුවෙන් ගුවන් ගමන් සඳහා කුලියට ගත් ගුවන් යානය වෙනුවෙන් රුපියල් 46,556,100ක් හා අනෙකුත් ගුවන් ගමන් වෙනුවෙන් රුපියල් 7,525,440ක් වැය කොට ඇත. කත්මණ්ඩු නුවර නවාතැන් පහසුකම් වෙනුවෙන් රුපියල් 70,659,750ක් (අමෙරිකානු ඩොලර් 403,770) රජය වැය කොට ඇත.

ප්‍රතිඵල අවම මට්ටමක තිබූ කෝකෝ, පාපන්දු හා හෑන්ඩ්බෝල් ක්‍රීඩා වෙනුවෙන් ගුවන් ටිකට් පත් හා නවාතැන් පහසුකම් සඳහා පමණක් රුපියල් 30,066,908ක් (ලක්ෂ 300කට අධික) වියදමක් දරා ඇත. මෙවැනි කණ්ඩායම් ජාත්‍යන්තර තරගවලට යැවීමට පෙර පූර්ණ ශක්‍යතා අධ්‍යයනයක් කරන්නේ නම් ශ්‍රී ලංකා රජය වෙත අනවශ්‍ය ලෙස පිරිවැය දැරීම වළකාලීමට හා රටේ අභිමානයට කැළලක් නොවීමට අවස්ථාව ඇතැයි කමිටුව යෝජනා කර තිබේ.

කිසිදු පදක්කමක් නැතිව හුදු කත්මණ්ඩු සංචාරකයන් පිරිසක් බවට පත් වූ කෝ-කො ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් 39ක් සඳහා රුපියල් 8,062,665ක්, පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් 48ක් සඳහා රුපියල් 11,382,142ක්, ලෝකඩ පදක්කමකට සීමා වූ හෑන්ඩ්බෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් 39ක් සඳහා රුපියල් 10,622,101ක් වියදම් කොට ඇත.

මෙවර දකුණු ආසියා ක්‍රීඩා උලෙළේදී ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 40ක්, රිදී පදක්කම් 83ක් සහ ලෝකඩ පදක්කම් 128ක් සමඟින් පදක්කම් 251ක් දිනාගැනීමට සමත් වූහ.

ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා විසින් පත්කළ ප්‍රගති සමාලෝචන කමිටුවට ග්‍රෙගරි සිල්වා (සභාපති), සමන් කුමාර ගුණවර්ධන, එල්මෝ පෙරේරා හා දමින්ද විජේසූරිය යන මහත්වරු ඇතුළත්ව සිටියහ.