සෙරීනා විලියම්ස් සිමෝනා හිල්ප් ව ගෙදර යවයි.-(වීඩියෝ සහිතයි)

ඊයේ (21) ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර රොඩ් ලීවර් පිටියට එක්වූ දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ගේ සිත් ඇඳ බැඳ තබා ගනිමින් ඇමරිකානු සුපිරි ටෙනිස් ක්‍රීඩිකාවක වන සෙරීනා විලියම්ස් ලෝක කාන්තා ටෙනිස් ශේණිගත කිරීමේ අංක එකේ ක්‍රීඩිකාව වන රුමේනියාවේ සිමෝනා හිල්ප් ට ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවය ගැන තිබූ අවසන් බලාපොරොත්තු වත් නැති කර දැමීමට සමත් වූවාය.

දරු ප්‍රසූතියෙන් පසු වැඩි කාලයක් නොගෙනම නැවත ටෙනිස් පිටියට පා තැබීමෙන් ඇය සිරුරේ ඇතිවූ අතුරු ආබාධ තිබියදීත් ජවසම්පන්න හා ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයකින් ක්‍රීඩා කිරීම කාගෙත් අවධානයට ලක් විය. සෙරීනාට සිමෝනා හිල්ප් ව පළමු වටයේදී පරාජයට පත් කිරීමට ගත වුනේ මිනිත්තු 23ක් පමණි. ඇය ලකුණු 6-1 ක් , 4-6 ක් සහ 6-4 ක් ලෙස සිමෝනාව පරදවා අවසන් අට දෙනාගේ කණ්ඩායමට රිංගා ගැනීම සමත් විය.

සිමෝනා ද අවසන් 16 දෙනාගේ කණ්ඩායමට එක් වූයේ සෙරීනා ගේ වැඩිමල් සොයුරිය වන වීනස් විලියම්ස් පරාජය කරමිනි. මෙම ජයග්‍රහණය එක් අතකින් තම සොයුරිය පරාජය කිරීමේ වාඩුව පිරිමසා ගැනීමක් වැනිය. “මේක ඉතා තියුණු තරඟයක් වුණා. මට ලකුණු ගලාගෙන ආවේ විස්මිත ආකාරයටයි.මම ටෙනිස් ක්‍රීඩාවට ගොඩක් කැමතියි. අනික මේ මගේ ප්‍රියතම පිටියයි” තරඟයෙන් පසු උද්දාමයට පත්වූ සෙරීනා එසේ කීවාය. ඇය ග්‍රෑන්ඩ් ස්ලෑම් තරඟාවලියක අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ 50 වැනි වතාවට ය.

අර්ධ අවසන් පූර්ව වටයේදී සෙරීනා හා තරඟ වැදීමට නියමිතව ඇත්තේ චෙක් රාජ්‍යයේ කැරොලිනා ප්ලිස්කෝවා සමඟය. කැරොලිනා අවසන් අට දෙනාගේ කණ්ඩායමට ඇතුළු වූයේ ස්පාඤ්ඤයේ ගාර්බින් මුගුරූසා පරාජය කරමිනි.

ඊයේ( 21) පැවති සෙසු තරඟ වලදී ජපානයේ නයෝමි ඔසාකා ද අවසන් අට දෙනාගේ කණ්ඩායමට එකතු විය. ඇය පසුගිය වසරේ ඇමරිකානු විවෘත ටෙනිස් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී සෙරීනාව පරදවා කුසලානය දිනා ගත්තාය.

මෙවර තරඟාවලියේදී සුපිරි ක්‍රිඩක ක්‍රීඩිකාවන් රැසකගේම අපේක්ෂා බංගත්වයට පත් කල අයුරු දැක ගන්නට ලැබුණි. ඒ අතරින් තරඟාවලිය පිළිබඳව ඉමහත් බලාපොරොත්තු තබා සිටි රුසියාවේ මාරියා ෂරපෝවා , ජර්මනියේ ඇන්ජලික් කෙබර් , ගිය වසරේ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියේ  කාන්තා ශූරතාව දිනාගත් ඩෙන්මාර්කයේ  කැරොලින් වොස්නියැකි මෙන්ම අවසන් වරට ඔස්ට්‍රේලියානු පිරිමි විවෘත ටෙනිස් ශූරතාව දිනා ගත් ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් ටද ආපසු තම ගම්බිම් බලා පිටත්ව යෑමට සිදුව තිබේ.

මේ අතර ලෝක පිරිමි ටෙනිස් ශේණිගත කිරීම්වල දෙවැනි තැන පසුවෙන ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් ද අවසන් අට දෙනාගේ කණ්ඩායමට එක් වූයේ චෙක් රාජ්‍යයේ තෝමස් බර්ඩ්ච් ව 6-0 ක් , 6-1 ක් සහ 7-6 ක් ලෙස පරදවමිනි.

කැරොලිනා ප්ලිස්කෝවා

නයෝමි ඔසාකා


සිමෝනා හිල්ප්

සෙරීනා විලියම්ස් සහ සිමෝනා හිල්ප් අතර තරඟයේ විශේෂ අවස්ථා.
👇

සටහන : නුවන් ජයතිස්ස