ශ්‍රී ලංකා “ඒ” පිලට දැවැන්ත ජයක්

සංචාරක අයර්ලන්ත “ඒ” කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම අතර ඊයේ පැවැති දෙවන එක්දින තරඟයෙන් දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත් විය. හම්බන්තොට සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැති මෙම තරඟයෙන් ලකුණු 175 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීම ඉතාමත් සුවිශේෂිය.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කල අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 337ක් රැස් කිරීමට ශ්‍රී ලංකා “ඒ” පිතිකරුවන් සමත් විය. උපුල් තරංග නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 112ක් තුල හතරේ පහරවල් 13ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 103ක් රැස් කළ අතර ඇන්ජලෝ පෙරේරා පන්දු 50ක් තුළ හතරේ පහර 09ක් හා එක් හයේ පහරක්ද සමඟින් ලකුණු 72ක් ද අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 55ක් ද ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළහ.

ලකුණු 338 ක ඉල්ලක්කයක් හඹා ගිය අයර්ලන්ත “ඒ” කණ්ඩායම පන්දුවාර 35 යි පන්දු 05 ක් තුලදී සියල්ලන්ම දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 162 ක් පමණි. අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් ශේන් ගෙට්කේට් ලකුණු 56 ක් හා මාර්ක් අඩීර් ලකුණු 43ක් ලබා ගැනීමට සමත් වූවත් අනික් කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ නොතැබීය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මිලින්ද සිරිවර්ධන ඊයේ දිනයේදී පිත්තෙන් අසාර්ථක වූවත් පන්දුවාර 04 යි පන්දු 05ක් යවමින් ලකුණු 26 ක් පමණක් ලබා දෙමින් අයර්ලන්ත කඩුලු 04 ක් බිඳ දැමුවා. කමින්දු මෙන්ඩිස් හා ඉසුරු උදාන ද කඩුලු දෙක බැගින් බිඳ හෙලමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළා.

තරඟ පහකින් සමන්විත ශ්‍රී ලංකා අයර්ලන්ත තරඟාවලිය 2 – 0 ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවෙයි. මීලඟ තරඟය ජනවාරි 24 වැනිදා කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්වීමට නියමිතය.


තරඟයේ ලකුණු පුවරුව පහතින්

👇


සටහන : නුවන් ජයතිස්ස