ක‍්‍රීඩා සංගම් කිහිපයක් නිලවරණයෙන් කට්ටි පනින ලකුණු

ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි සංගම්වල වාර්ෂික නිලවරණ ලබන අගෝස්තු මස 31 වැනිදාට පෙර පැවැත්විය යුතු වුවත් සංගම් කිහිපයක් නිලවරණයට සූදානම් නොවී කොරෝනා වසංගතයට මුවා වී එය කල් දැමීමේ ක‍්‍රියාදාමයක නිරත වන බව ‘දිවයින’ ට වාර්තා වේ.
ලබන අගෝස්තු 31 වැනිදාට පෙර නිලවරණ පැවැත්විය යුතු සංගම් ගණන 24 කි. නමුත් තවමත් නිලවරණයට සූදානම් වී ඇත්තේ සංගම් දහයකටත් අඩු සංඛ්‍යාවක් බැවින් නිලවරණ නොපවත්වන සංගම් ක‍්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අතට පත්කෙරෙනු ඇතැයි වාර්තා වේ.
ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි ක‍්‍රීඩා සංගම් 70 අදාළ නිලවරණ පවත්වන කාල සීමාව තීරණය කරනු ලබන්නේ ඒ ඒ ක‍්‍රීඩා සංගම්වල ව්‍යවස්ථාවට අනුකූලව වේ. කෙසේ වෙතත් කුමන වසරකදී හෝ අදාළ සංගම් නිලවරණ පැවැත්විය යුත්තේ මැයි මස 31 වැනිදාට පෙර බව ක‍්‍රීඩා අමාත්‍යාංශය පැවසුවද කොරෝනා වසංගය හේතුවෙන් අගෝස්තු 31 වැනිදා දක්වා 2020 නිලවරණ කල් දමන ලදී.
නිලවරණ පවත්වන සංගම් දින 14 කට පෙර විගණන වාර්තා ඉදිරිපත් කර යුතු අතර නාම යෝජනා දින 40 කට පෙර නිලවරණ කමිටුවට ලැබිය යුතුවේ. නමුත් කොරෝනා දෙවැනි රැුල්ල රට තුළ පැතිර යෑම සහ මහා මැතිවරණය හේතුවෙන් ඇතැම් සංගම් කිහිපයක් නිලවරණය පැවැත්විය නොහැකි බවට මැසිවිලි නගති. නමුත් ක‍්‍රීඩා අමාත්‍යාංශය පවසන්නේ යොදාගත් දිනට පෙර සියලූම සංගම් අදාළ නිලවරණය පැවැත්විය යුතු බවයි.