මාරියා ෂරපෝවා සහ වොස්නියැකි තුන් වැනි වටයට සුදුකම් ලබති

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟ බිමේ වමත් ශූරීය වන ඩෙන්මාර්කයේ කැරොලින් වොස්නියැකි ලකුණු 6-1ක් සහ 6-3ක් ලෙස ස්වීඩනයේ ජොහානා ලාසන් පරාජය කරමින් පහසුවෙන්ම තුන්වැනි වටයට තේරී පත් උනාය. එහෙත් ඇයට තුන්වැනි වටයේදී ලැබෙන්නේ පහසු අභියෝගක් නොවේ.මක්නිසාද යත් ඇයට මුණ ගැසෙන්නේ ප්‍රබල මාරියා ෂරපෝවා බැවිනි.

මෙල්බන් නුවරදී ඊයේ (16) පැවැති තරඟයේදී  ස්වීඩනයේ රෙබකා පීටර්සන් ලකුණු 6-2ක් සහ 6-1ක් ලෙස පහසුවෙන් පරාජය කළ ෂරපෝවා තුන්වැනි වටයට සුදුසුකම් ලබාගත්තාය.
තහනම් උත්තේජන ගැනීම සම්භන්ධයෙන් 30 හැවිරිදි මාරියා ෂරපෝවා වරද පිළිගැනීම නිසා මාස 15 ක තහනමකට ලක්ව සිටියද ඇයගේ පැරණි දස්කම් තවමත් විදහා පෑවාය. ජාත්‍යන්තර ටෙනිස් ශේණිගතකිරීම් වල 64 වන ස්ථානය හිමිකරගෙන සිටින රෙබකා පීටර්සන් පරාජය කිරීමට ෂරපෝවාට අවශ්‍ය වූයේ විනාඩි 71ක් පමණි.
සුපිරි ටෙනිස් ක්‍රීඩක ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සිය 21 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් කිරුළ වෙත සෙමින් සෙමින් ලංවෙන ස්වරෑපයක් ඊයේ දිනයෙදී දක්නට ලැබිණි.ඒ ලකුණු 7-6ක් , 7-6ක් සහ 6-3 ක් ලෙස තියුණු තරඟයක් ලබා දෙමින් බිතාන්‍යයේ ඩැන් ඉවාන්ස් පරාජයට පත් කිරීමත් සමඟය.
ලෝක ටෙනිස් ශේණිගතකිරීම් වලට අනුව 189 වන ස්ථානයේ පසුවන ඉවාන්ස් ලෝකයේ තුන්වැනි ස්ථානයේ පසුවන ෆෙඩරර් ව දෙගිඩියාවට පත් කරමින් ඉතා වේගවත් පහර ගණනාවකින්ම ඔහු අන්ද මන්ද කර දැමුවේ ප්‍රේක්ෂකයා අමන්දානන්දයට පත් කරමින්‍ ය. ෆෙඩරර්ට තුන් වැනි වටය පිවිසීමට සෑහෙන මහන්සියක් ගැනීමට සිදුවිය.
“මට හුස්මක් කටක් ගන්න ඔහු ඉඩ දුන්නේම නැහැ ඔහු ඉතා හොඳින් තරඟ කලා. තරඟයෙන් මම ජය ලැබුවත් ඔහුට ගෞරවය හිමිවිය යුතුමයි.” තරඟ ජයග්‍රහණයෙන් අනතුරුව රොජර් ෆෙඩරර් පැවසුවා.
ඊයේ පැවැති(16) තරඟ වල වඩාත්ම අවදානයට ලක්වූයේ ශේණිගත කිරීම්වල පස් වැනි ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාවේ කෙවින් ඇන්ඩර්සන් ව ආපසු හිස් අතින්ම ගෙදර යැවීමට ඇමරිකාවේ ෆැන්සස් ටියාෆොයි සමත් වීමය. මාගර්ට් කෝට් ක්‍රීඩාංගනයේදී පැවැති මෙම තරඟයෙන් ඇන්ඩර්සන් පරජයට පත්වූයේ ලකුණු 4-6ක්, 6-4ක් සහ 7-5ක් ලෙසිනි. ඇමරිකාවේහිම ස්ලොනි ස්ටීවන්ස් ඊයේ තුන්වැනි වටයට සුදුසුකම් ලැබුවේ හංගේරීයාවේ ටමියා බාබෝස්ට එරෙහිව ලකුණු 6-3ක් සහ 6-1ක් ලෙස පහසු ජයක් අත් කර ගනිමිනි.
අන්තර්ජාතික කාන්තා ශේණිගත කිරීම්වල දෙවැනි තැන සිටින ජර්මනියේ ඇන්ජලික් කෙබර් 6-2ක් සහ 6-3ක් ලෙස බ්‍රසීලයේ බියට්‍රිස් හැඩඩ් පරාජය කල අතර පිරිමි ශේණිගත කිරීම්වල දෙවැනි තැන සිටින ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් තුන්වැනි වටයට පිවිසියේ ඔස්ට්‍රේලියාවේ මැතිව් එබ්ඩන් ලකුණු 6-3ක් , 6-2ක් සහ 6-2ක් ලෙස පරාජයට පත් කරමිනි.

කැරොලින් වොස්නියැකි


ඇන්ජලික් කෙබර්

රොජර් ෆෙඩරර්


රෆායෙල් නඩාල්

සැකසුම : නුවන් ජයතිස්ස