සුපිරි ඉනිමත් සමඟ මතුවන ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගත බලාපොරොත්තුව – video

අද නිමාවට පත් වූ සංචාරක අයර්ලන්ත “ඒ” කණ්ඩායම සහ ශ්‍රි ලංකා “ඒ” කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැති තරඟයේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගැන යහපත් බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට හැකිව තිබේ.

1998 මැයි 18 දින ගාල්ලේ දී උපත ලද කොළඹ ඉසිපතන විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට දායාද කල ක්‍රීඩකයකු වූ පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී පන්දු 274 කට මුහුණ දෙමින් හතරේ පහරවල් 28ක් ද සමඟින් ලකුණු 217 ක් රැස කර ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයේ මාවතින් ගලවා ගත්තා.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අශාන් ප්‍රියන්ජන් සුරියවැව තණ තිල්ලේ මුලින්ම පන්දු රැකීමට තීරණය කරනු ලැබු අතර මුලින්ම පන්දුවට පහරදීමේ වාසිය සිය කණ්ඩායම වෙත හරවා ගත් අයර්ලන්ත ඒ කණ්ඩායම කඩුලු 8කට ලකුණු 508ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහරදීමට අවස්ථාව සලසා දෙනු ලැබුවා. අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් නේල් රොක් ලකුණු 85ක් ද ලෝකාන් ටක්කර් ලකුණු 80ක් ද ලබා ගනු ලැබුවා. පන්දු යැවීමේදී චාමික කරුණාරත්න සහ ලසිත් ඇඹුල්දෙනිය කඩුලු 3න බැගින් දවා ගත්තා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා රැස් කර ගත හැකි වූයේ සියළුම දෙනා දැවී ලකුණු 303ක් පමණි.දක්ෂ පිතිකරණය යෙදුනු ඇන්ජලෝ පෙරේරා පන්දු 161කට මුහුණ දී ලකුණු 127ක් රැස් කර ගනු ලැබුවා. ශම්මු අශාන් ලකුණු 72යි. පන්දු යැවීමේදී කැමරන් ඩෝ කඩුලු 5ක් හා ක්රේග් යංග් කඩු 3 බැගින් ලබා ගත්තා.
අනතුරුව අයර්ලන්ත කණ්ඩායමේ ආරාධනාවෙන් සිය දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 205 ක අභියෝගයද සමඟින් පලමු ඉනිමේ ලද සිය අත්දැකීම් උපයෝගී කොට ගනිමින් මනාව පන්දුවට පහර දෙමින් කඩුලු 7ක් දැවී ලකුණු 468ක් ලබා සිටියදී ඉනිම අත් හිටුවා අයර්ලන්ත කණ්ඩායමට පන්දුවට පහර දීමට අවස්ථාව උදාකර දෙනු ලැබුවා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිශ්ශංක ලකුණු 217ක් ද චාමික කරුණාරත්න ලකුණු 100ක් හා කමින්දු මෙන්ඩිස් ලකුණු 53ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉණිම ශක්තිමත් කිරීමට දායකත්වය ලබා දෙනු ලැබුවා. පන්දු යැවීමේදී ග්‍රාත් කඩුලු 3ක් හා අඩීර් කඩුලු 2ක බැගින් දවා ගැනීමට සමත් වූවා.
ලකුණු 264ක ජයග්‍රාහී ඉලක්කයක් හබා යෑමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩයමට තරඟයේ අවසානය දිනය නිමාවන විට කඩුලු 3ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 89ක් පමණයි.පන්දුවට පහරදීමේදී මැකලම් ලකුණු 45ක් හා පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙනිය කඩුලු 2ක් දවා ගනු ලැබුවා.
තරඟය ජය පරාජයෙන් තොරව නිමාවට පත් උනා.


සටහන : නුවන් ජයතිස්ස