නේපාලයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අකරතැබ්බක්…

නේපාලයේ කත්මන්දු නුවර පැවැත්වෙන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අකරතැබ්බකට මුහුන දීමට සිදුවිය. එහිදී ක‍්‍රීඩකයන් සහ ක‍්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම අසනීප වී රෝහල් ගත කර තිබේ. තරගාලියේ තෙවැනි දිනය වන විට නේපාලය රන් පදක්කම් 25 ක්, රිදී පදක්කම් 12 සහ ලෝකඩ පදක්කම් 17 ක් සමග සමස්ත පදක්කම් 54 ක් දිනා ගනිමින් පළමු තැනට පැමිණ තිබුණි. දකුණු ආසියානු ක‍්‍රීඩා ඉතිහාසයේ වැඩිම වරක් ශූරතාව දිනා ඇති ඉන්දියාව රන් පදක්කම් 21 ක්, රිදී පදක්කම් 19 ක් සහ ලෝකඩ පදක්කම් 9 ක් සමග මුළු පදක්කම් 49 ක් දිනා ගනිමින් දෙවැනි තැනට පත්ව තිබේ. ශ‍්‍රී ලංකාව ඊයේ වන විට රන් පදක්කම් හයක්, රිදී පදක්කම් 16 ක් සහ ලෝකඩ පදක්කම් 31 ක් සමග සමස්ත පදක්කම් 53 ක් ලබා තෙවැනි තැට පත්විය.
ශ‍්‍රී ලංකාවේ දුර පැනීමේ ඉසව්ව නියෝජනය කිරීමට සිටි විදුෂා ලක්ෂානි එම ඉසව්වට සහභාගි වීමට නොහැකි විය. ඇය රෝගී තත්ත්වයකින් පසුවීම හේතුවෙන් සාරංගි සිල්වා එම ඉසව්වට ඉදිරිපත් වෙමින් අදාළ රන් පදක්කම දිනා ගැනීම සුවිශේෂි කරුණකි. මෙවර තරගාවලියේදී ආබාධ හේතුවෙන් ආදේශ කළ ක‍්‍රීඩිකාවක් දිනු දෙවැනි රන් පදක්කමද මෙය විය. මීට පෙර නිමාලි ලියනාරච්චි වෙනුවට ආදේශ කළ නිලානි රත්නායකද රන් පදක්කමක් දිනා ගැනීමට සමත්වීම විශේෂත්වයකි.
මේ අතර දුර පැනීමේ ඉසව්වේ රිදී පදක්කමද දිනා ගැනීමට ශ‍්‍රී ලංකාවේ අංජානි පුල්වංශ සමත් වුවාය. එය ඇයගේ හොඳම දක්ෂතාව වශයෙන් සටහන් වේ. මීටර් 10,000 ඉසව්ව නියෝජනය කළ කුමාර් ශන්මුේෂ්වරන්ද රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
මී.200 ඉසව්ව නියෝජනය කල විනෝජ් සුරංජය තත්ත්පර 21.19 ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේය. ඔහුගේ පෞද්ලික දක්ෂතාව 20.68 ක් වුවද ඊයේ දිනයේදී ඔහු නියමිත දක්ෂතා අතරට පැමිණ නොතිබුණි. එම ඉසව්වේ පළමු ස්ථානය පාකිස්තානයේ උසෙයි රෙහෙමාන් (තත්21.15) දිනා ගත් අතර දෙවැනි ස්ථානය මාලදිවයිනේ සයිඞ් හසන් (21.22) විසින් දිනා ගත්තේය.