තිලංගගෙන් මට වැඩක් නැහැ, ඕනනම් උසාවි යන්න – ක‍්‍රීඩා ඇමැති හරීන් කියයි

තිලංග සුමතිපාල මහතාගෙන් තමාට වැඩක් නැති බවත් ක‍්‍රිකට් තහනම පැනවූයේ නීත්‍යානුකූලව බවත් අවශ්‍යනම් ඊට එරෙහිව තිලංග සුමතිපාල මහතාට උසාවි යා හැකි බවත් ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු පවසයි.

‘‘තිලංග සුමතිපාල මහතාට එරෙහිව ගොනු කරලා තියෙන චෝදනා පත‍්‍රය පිට වෙන්න කලින් මාධ්‍යට නිකුත් වෙලා තියෙනවා. මම වගකීමෙන් කියනවා මම ඒක ඇස් දෙකෙන් දැකලා අත්සනක් ගැහුව්වා මිසක් කොපියක්වත් තියා ගත්තෙ නැහැ. හැබැයි ඒකෙ කොපියක් මම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට යැව්වා. මොකද මම ගණු දෙනු කරන්න ඕන දැන් ඉන්න ක‍්‍රිකට් සභාපති සහ ලේකම් එක්ක. මට තිලංගගෙන් වැඩක් නැහැ.’’ යැයි ක‍්‍රීඩා ඇමැතිවරයා පවසයි.

තිලංග සුමතිපාලට එරෙහිව තිබෙන චෝදනා පත‍්‍රය අයි.සී.සී.යද ලබාදී තිබුණද එය ප‍්‍රසිද්ධ කිරීමට අයි.සී.සී.යෙන් අවසරයක් නොමැති බැවින් එය එළියට නොදමන බවද ඇමැතිවරයා පවසයි. දේශපාලන වාසි ලබාගැනීමට ඔහුව තහනම් නොකළ බවත් කාටවත් කරන්න බැරි වූ අමාරුම දෙය තමා ක‍්‍රීඩා ඇමැතිවරයා විදිහට කළ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.