‘පාකිස්තානයේ යන්න දුන්නෙ නැත්තෙ ඇයි කියලා තේරීම් කමිටුවෙන් අහනවා’ – අශාන්

ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකයා වන්නේ අශාන් ප‍්‍රියංනයි. ඔහු දිගින් දිගටම ‘ඒ’ කණ්ඩායමේ නායකත්වය ලැබුවද ජාතික කණ්ඩායමේ ස්ථාන අතරින් පතර හිමි වුවත් වැඩිම අවස්ථාව ‘ඒ’ කණ්ඩායමට සීමාවී තිබේ. බංග්ලාදේශ ‘ඒ’ පිල සමග පැවැත්වෙන සිව්දින තරග දෙක සහ එක්දින තරග තුනට පෙර අශාන් ප‍්‍රියංජන මෙසේ පැවසීය.
‘‘ඉන්දියාව සමග සෙල්ලම් කරපු ‘ඒ’ තරගාවලි කණ්ඩායමේ සියලූම ක‍්‍රීඩකයන්ට හොඳ අවස්ථාවක් වුණා. මොකද ඉන්දියාව සමග සෙල්ලම් කරන එක ලෙහෙසි නැහැ. ඒ තරගාවලියෙන් පස්සෙත් අපි මාස තුනක් විතර එක දිගට පුහුණුවීම් කරලා බංග්ලාදේශ ‘ඒ’ තරගාවලියට මුහුණ දීමට හොඳ සූදානමකින් ඉන්නවා.’’
‘‘මම පාකිස්තාන් සංචාරයට නැති එක අහන්න ඕන තේරීම් කමිටුවෙන්. මම අහන්න ගියේ නැහැ ඒත්. මටත් පොඩි බලාපොරොත්තුවක් තිබ්බා පාකිස්තාන් සංචාරය ලැබෙයි කියලා. තේරීම් කමිටුව හොඳ තීරණය ගන්න ඇති. මම ඒකට ගරු කරලා ඉන්නවා.’’
පාකිස්තාන සංචාරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවු ගැටලූව මුල් කරමින් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් දස දෙනකු කණ්ඩායමෙන් ඉවත්ව සිටියදීත් ‘ඒ’ පිලේ නායකයාට අවස්ථාවක් හිමි නොවීම සම්බන්ධයෙන් ඔහු තේරීම් කමිටුව මුණ ගැසීමට සූදානමින් සිටියි. ‘මට සංචාරය ලැබුණෙ නැත්තෙ ඇයි කියලා ඉස්සරහට අහන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.’ යැයි අශාන් ප‍්‍රියංජන් පවසයි.
දැනට 30 වැනි වියේ පසුවන අශාන් ප‍්‍රියංජන එක්දින ජාත්‍යන්තර තරග 23 ක් ක‍්‍රීඩා කරමින් අර්ධ ශතක දෙකක් සමග මුළු ලකුණු 421 ක් ලබා තිබේ. ඔහුට 2015 වසරෙන් පසුව ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවීමද විශේෂත්වයකි. විස්සයි විස්ස තරග තුනකට අශාන් ප‍්‍රියංජන ක‍්‍රීඩා කර තිබේ.