ශ‍්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රීඩකයෝ 5-0 කින් අයර්ලන්තය පරදවයි

අවිශ්ක සහ තරංග ශතක ලබයි.

උපුල් තරංග (120) සහ අවිශ්ක ප‍්‍රනාන්දු (112) ශතක වාර්තා කරමින් ඊයේ (29 දා) කොළඹදී පැවැති පස්වැනි එක්දින ක‍්‍රිකට් තරගයෙන්ද අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට ලකුණු 101 ක පරාජයක් උරුම කර දීමට ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය. ඒ අනූව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 5-0 ක් වශයෙන් ජය ගැනීමට උපුල් තරංගගේ නායකත්වයෙන් යුත් ‘ඒ’ පිල හැකියාව ලැබුණි.

ශ‍්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල වෙනුවෙන් තරංග සහ 20 හැවිරිදි අවිශ්ක ප‍්‍රනාන්දු යුගල එක්ව පන්දු 174 කදී ලකුණු 206 ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූහ. දකුණු අප‍්‍රිකානු සංචාරයේදී ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථානයක් වෙන්කර ගැනීමට සමත්ව සිටිනි අවිශ්ක ප‍්‍රනාන්දු මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල නියෝජනය කළ ක‍්‍රීඩකයෙකි. අවිශ්ක විසින් පන්දු 94 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර 13 ක් සමග ලකුණු 112 ක් වාර්තා කර ගනිද්දී අනෙක් අන්තයේ සිටි උපුල් තරංග පන්දු 108 කදී හයේ පහරක් සහ හතරේ පහර 15 ක් සමග ලකුණු 120 ක් ලබා ගත්තේය.
චතුරංග ද සිල්වා පන්දු 23 කදී හයේ පහර පහක් සහ හතරේ පහර දෙකක් සමග වේගවත් අර්ධ ශතකයක් වාර්තා කළේය. ඉසුරු උදාන අවසන් පන්දුවාර කිහිපයේදී පිතිකරු ලැයිස්තුවේ ඉහළින් පැමිණ පන්දු 10 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහරක් සමග ලකුණු 22 ක් ලබා ගත්තේය.

ලකුණු සටහන
ශ‍්‍රී ලංකා‘ඒ’ පන්දුවාර 50 කදී කඩුලූ 7ට ලකුණු 403 යි. (අවිශ්ක ප‍්‍රනාන්දු 112, උපුල් තරංග 120, අසේල ගුණරත්න 25, දසුන් ශානක 39, මිලින්ද සිරිවර්ධන 07, චතුරංග ද සිල්වා 50, ඉසුරු උාන 22, චේස් 57/2, ඩෙලනි 58/2 යි.*
අයර්ලන්ත පිල පන්දුවාර 50 කදී සියල්ල දැවී ලකුණු 302 යි. (ටුකර් 53, තොම්සන් 30, මැකලම් 43, සිංග් 41,රොක් 78, අසේල ගුණරත්න 51/4, මෙන්ඩිස් 82/2 යි.)

 

උපුල් තරංග