දිමුත්ලා පාකිස්තානයේ ටෙස්ට් ගහන්න කැමැති වෙති – මැතිව්ස්ගේ තීරණය වැට උඩ

පාකිස්තානය සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය සඳහා පාකිස්තානයේ සංචාරය කිරීමට දිමුත් කරුණාරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් කැමැත්ත පළ තිබේ. නමුත් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ සහභාගීත්වය තවමත් වැට උඩ පවතින බවද වාර්තා වේ.
ලබන දෙසැම්බර් මසදී රාවල්පින්ඩි සහ කරච්චි නගරවලදී ටෙස්ට් තරග දෙක පැවැත්වීමට මේ වන විටත් පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනය ලක ලැහැස්ති වන අතර ඒ සඳහා ශ‍්‍රී ලංකා ආයතනයද කැමැත්ත පළ කර තිබේ. ඒ අනූව 2009 වසරට පසුව පාකිස්තානයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගාවලියද මෙය වේ.
එක්දින සහ විස්සයි විස්ස තරගාවලියේදී ලබාදුන් ආරක්ෂාවම ශ‍්‍රී ලංකාවට අඩුවක් නොමැතිව ටෙස්ට් තරගාවලියේදීත් ලබාදෙන බවට පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනය එකඟ වී තිබේ. ඒ අනුව ලෝක කුසලාන ටෙස්ට් තරගාවලියේ තරග යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා සියලූම ක‍්‍රීඩකයන්ට සහභාගී වන ලෙසද ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානීන් ක‍්‍රීඩකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සමග කොන්ත‍්‍රාත් ගතව සිටින ජ්‍යෙෂ්ට ක‍්‍රීඩකයන් පාකිස්තානයේදී ටෙස්ට් තරග දෙකට සහභාගි වීමට කැමැත්ත පළ කර තිබේ. ඒ අනූව නායක දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා යන ක‍්‍රීඩකයන්ද වාචිකව කැමැත්ත පළ කර තිබුණද ඇන්ජලෝ මැතිව්ස් සිය මතය තවමත් ප‍්‍රකාශ කර නොමැත.
පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැති ක‍්‍රීඩකයන් වෙතොත් ඔවුන්ට එරෙහිව දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බවත් අකමැති ක‍්‍රීඩකයන්ව ගෙදර දමා හෝ තරගාවලියට සහභාගි වන බවත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානියකු පැවසීය.