ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ක‍්‍රීඩකයෝ කොරෝනා අරමුදලට මුදල් කෝටි ගණන් දමති

ගෝලීය වසංගතයක් වී ඇති කෝවිඞ් -19 න් හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ උද්ගත වී ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විසින් රුපියල් මිලියන 25 ක් හෙවත් ලක්ෂ 250 ක ආධාරයක් රජය වෙත ලබාදීමට කටයුතු කර තිබේ.
වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වය අවබෝධ කර ගනිමින් ඇති වී තිබෙන සෞඛ්‍ය ගැටලූවට පිළියමක් සහ සහයෝගයක් වශයෙන් අදාළ ආධාර මුදල රජයට ලබාදීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව ඒකමතිකව තීරණය කර තිබේ. මීට අමතරව තවත් ක‍්‍රියා මාර්ග කිහිපයක්ම කොරෝනාවට වැට බැඳීම උදෙසා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ගෙන තිබේ.
මේ අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ඇතුළු සියලූම ක‍්‍රීඩකයන්ද කොරෝනා අරමුදලට මුදල් ලබාදී තිබේ. ඒ අනූව ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් ලබාදුන් ආධාර අනූව කොරෝනා වෛරසයෙන් ආසාදනය වූ රෝගීන් පහසුවෙන් හඳුනාගතහැකි ලැරින්ගෝස්කෝප් යන්ත‍්‍ර මහ රෝහල විසින් මිලදී ගැනීමට නියමිතය. එම යන්ත‍්‍ර ලැබුණ විගස ජාතික රෝහල වෙත ලබාදීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් කටයුතු කරනු ලබයි.
‘‘කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය අරමුදල් සොයන බව අපි දැනගත්තා. අපේ මුළු කණ්ඩායමම ඒ සද්කාර්යයට දායක වෙන්න එක් වුණා. මේ රෝගයට එරෙහිව සටන් කිරීමට හැකි උපරිම දායකත්වය අපි ලබා දෙනවා. අදාළ උපකරණ ඉතාම ඉක්මණින් පැමිණේවි.’’ යැයි දිමුත් කරුණාරත්න පවසයි.
දැනට සති දෙකකට වැඩි කාලයක් පුරා සිය පුහුණුවීම් නොමැතිව ගෙදරට වී සිටින ජාතික සංචිතයේ කී‍්‍රඩකයන් සිය ශාරීරික යෝග්‍යතාව උදෙසා සිය නිවසේ සිට ව්‍යායාම්වල සහ පුහුණුවීම්වල නිරතව සිටින බවද වාර්තා වේ. වේග පන්දු යවන ක‍්‍රීඩක ළහිරු කුමාරද සිය නිවසේ සිටි ශාරීරික යෝග්‍යතාවල සහ පුහුණුවීම්වල නිරත වන වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර ඇති අතර තවත් කී‍්‍රඩකයන් කිහිප දෙනෙක්ම සිය පුහුණුවීම් කටයුතු හැකි පමණ නිවසට වී කරන බවද වාර්තා වේ.
මේ අතර කොරෝනා වෛරසය පැතිර යෑම වැලැක්වීම සඳහා වත්මන් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක‍්‍රීඩකයන් මෙන්ම හිටපු සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් බහුතරයක්ම ජනතාව දැනුවත් කරමින් අන්තර්ජාලය සහ මුහුණු පොත ඔස්සේ සිය පණිවුඩ මුදා හරිමින් සිටියි.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විසින් සංවිධානය කරනු ලබන සියලූම ක‍්‍රිකට් තරගාවලි මේ වන විට දින නියමයක් නොමැතිව කල් දමා ඇති අතර වැඩිදුරටත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සඳහන් කරන්නේ කොරෝනා වෛසරය මැඩලීම වෙනුවෙන් රජය සහ ත‍්‍රිවිධ හමුදාව ගෙන යනු ලබන ක‍්‍රියාමාර්ග අගය කරන බවත් ඒ අනුව සියලූ දෙනාම ඊට සහයෝගය දිය යුතු බවත්ය.