දක්ෂතම කබඩි ක‍්‍රීඩිකාවට සිව් වසර තහනමක්

පොලොන්නරුවේ පැවැති ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ දක්ෂතම කබඩි ක‍්‍රීඩිකාව සම්මානය දිනා ගත් සබරගමුව පළාතෙ මනෝරී ජයසිංහ තහනම් උත්තේජක ගත් බවට ශ‍්‍රී ලංකා තහනම් උත්තේජන මර්දන ඒකකය විසින් තහවුරු කර ඇත. ඒ අනුව ඇයට සිව් වසරක තරග තහනම් පැනවීමට කටයුතු යොදා තිබේ.
අදාළ තහන සම්බන්ධයෙන් නීති මගට පිවිසීමට ජාතික කබඩි සම්මේලනය විසින් කටයුතු කිරීමට නියමිතව තිබේ. 2013 අංක 33 දරණ ක‍්‍රීඩා තරගවල තහනම් උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි පනතේ 26 (1) (අ) උප වගන්තියේ ප‍්‍රතිපාදන ප‍්‍රකාරව තහනම පැනවී සති දෙකක් ඇතුළත තහනම් උත්තේජන මර්දන නියෝජිත ආයතනයේ අභියාචනා මූල මණ්ඩලය වෙත අභියාචනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාව ක‍්‍රීඩිකාව සතුව තිබේ.
මනෝරී ජයසිංහ ක‍්‍රීඩිකාව පොලොන්නරුව ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ තරග පැවැති අතරතුර ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය අහඹු ලෙස මුත‍්‍රා සාම්පල ලබාගෙන ඉන්දියාවේ පරීක්‍ෂණාගාරයකදී කළ පරීක්ෂණයකදී ‘ඩියුරටික්’ නම තහනම් උත්තේජක සංඝටක අඩංගු බවට වාර්තා වී තිබු අතර පසුව ශ‍්‍රී ලංකා තහනම් උත්තේජන විනය කමිටුව විසින් අදාළ තහනම ඇයට පනවා තිබේ.
මෙම තහනම හේතුවෙන් මනෝ ජයසිංහට ලබන 2022 ඔක්තෝම්බර් 11 දක්වා විදෙස් තරග තහනමක් පනවා ඇති අතර එම කාලය තුල සියලූම ආකාරයේ ක‍්‍රීඩා කටයුුතු සහ පුහුණුවීම්ද තහනම් කර ඇති බව ලිඛිතව දන්වා තිබේ. මනෝරී ක‍්‍රීඩිකාවගේ ‘ඒ’ මුත‍්‍රාසාම්පලයේ තහනම් උත්තේජක භාවිතා කොට ඇති බවට තහවුරු වී තිබුණද ඇය විසින් එම චෝදනා ප‍්‍රතික්ෂේප කර තිබේ.
ජයසිංහ ක‍්‍රිඩිකාවගේ මුත‍්‍රා සාම්පලය පරීක්‍ෂා කළ ඉන්දීය පරීක්ෂණාගාරය තාවකාලිකව තහනමකට ලක්කොට ඇති හෙයින් ‘බී’ මුත‍්‍රා සාම්පල පරීක්‍ෂණය සිදුකිරීමට නොහැකිව තිබේ. ඒ අනූව ක‍්‍රීඩිකාවට එරෙහිව තහන අසාධාරණ බවට ජාතික කබඩි සම්මේන නිලධාරීහු පවසති.