එක්දින නායකත්වයට මැතිව්ස් සහ චන්දිමාල් අතර සටනක්

මීළග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ස්ථීර නායකයකු පත්කර ගැනීමට තවමත් සාකච්ඡා කරන බව පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රෝයි මහතා පවසයි. ඒ අනූව ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනාගෙන් එක් අයකුට නායකත්වය ලබාදීමට දැනට යෝජනා වී තිබේ.
ලබන මස බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ සිට නව නායකයා පත් කරන බවත් අනතුරුව ඔහු දක්වන දක‍ෂතා මත ලෝක කුසලාන වෙනුවෙන් එම පත්වීම ස්ථීර කරන බවත් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රෝයි මහතා සඳහන් කර තිබේ.
‘අපි දැනට ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරා තිදෙනාගෙන් එක් අයකුට නායකත්වය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැන පුහුණුකරු චන්දික හතුරුසිංහ සමගත් සාකච්ඡා කරමින් ඔවුන්ගේ දක‍ෂතා සහ අනාගතයට ගැලපෙන හොඳම කෙනාව තෝරා ගන්නවා. කොහොම වුණත් පත්කරන නායකයා 2019 ලෝක කුසලානට යනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ ඔහු දක්වන දක‍ෂතා මත. නායකයා හරියට කරන්නෙ නැතිනම් 2019 තෙක් පත්කරලා වැඩක් නැහැ. ඒ නිසා තරගාවලියෙන් තරගාවලිය අපි බලනවා මොකද කරන්නෙ කියලා.’ යනුවෙන් ලැබ්බ්‍රොයි මහතා පවසයි.
මෙම 2017 වසරේදී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම සහභාගි වූ තරග 29 කින් 23 ක් පරාජය වී ඇති අතර ජය ගෙන ඇත්තේ තරග පහක් පමණි.
වාර්තා වන අන්දමට ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයට පත්වුවහොත් ඔහුගේ උපනායකයා වශයෙන් දිනේෂ් චන්දිමාල්ව පත්කරන අතර චන්දිමාල් නායකත්වයට පත්වුවහොත් ඔහුගේ උපනායකයා වශයෙන් තිසර පෙරේරාව පත්කිරීමටද යෝජනා වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ. නමුත් මේ සම්බන්ධයෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා පවසන්නේ මෙවැනි අදහසකි.
1975 වසරේ සිට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ පළමු නායකයා ලෙස අනුර තෙන්නකෝන් පත්වීමේ සිට මේ දක්වා ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට පත්වූ නායකයන් 22 දෙනකුගෙන් සිව්දෙනකුම 2017 වසරේ පත්වූ නායකයන් වේ. දැනට යෝජනා වී ඇති නායකයන් අතුරින් ඇන්ජලෝ මැතිව්ස් එක්දින තරග 98 කට නායකත්වය දී ඉන් තරග 47 ක් ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත්ව තිබේ. ඔහුට තරගයක් ජයග්‍රහණය කරා මෙහෙයවීමේ ප්‍රතිශතය සඳහන් වන්නේ 50.07% කි.