ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ගේ වර්ජනයෙන් තිරිමාන්න සහ දසුන් ශානක ඔටුනු පළඳියි

ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් දස දෙනකු පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැත්ත ප‍්‍රකාශ කිරීම හේතුවෙන් ශ‍්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය ළහිරු තිරිමාන්නට හා විස්සයි විස්ස නායකත්වය දසුන් ශානකට ලබාදීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තීරණය කර තිබේ.
පාකිස්තානය සමග ලබන 27 වැනිදා පළමු එක්දින තරගය පැවැත්වෙන අතර එක්දින තරගාවලියෙන් අනතුරුව තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය පැවැත්වේ. පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවීම හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ධනංජය ද සිල්වා සහ අකිල ධනංජය කණ්ඩායමෙන් ඉවත්ව තිබේ.
තිසර පෙරේරා මීට පෙර ඉකුත් වසරේදී ශ‍්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම නියෝජනය කරමින් පාකිස්තානයේ සංචාරය කළ අතර ඔහු පාකිස්තාන් ප‍්‍රිමියර් ලීග් තරගාවලියටද සහභාගි විය. එවන් තත්ත්වයක සිටියදී මෙවර ඔහු කණ්ඩායමෙන් ඉවත්වීම විමතිය දනවන කරුණකි.
ළහිරු තිරිමාන්න මීට පෙර 2015 වසරේදී ශ‍්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා වශයෙන් තරග තුනක් මෙහෙයවා ඇති අතර ඉන් තරගයක් පමණක් ජය ගෙන තරග දෙකක් පරාජයට පත්විය. නමුත් දසුන් ශානක පළමු වරට ශ‍්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට පත්වීම විශේෂත්වයකි. පාකිස්තාන් එක්දින තරගාවලිය සහ විස්සයි විස්ස තරගාවලිය සදහා සහභාගි වන සම්පූර්ණ සංචිත දෙක කී‍්‍රඩා ඇමැතිවරයාගේ අනුමැතිය සදහා යොමු කර තිබේ.