පාසල් ක‍්‍රිකට්වලට මහ ගෙදරින් මාස 24 කදී ලක්ෂ 2300 ක්

පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාව දැවැන්ත කඩා වැටීමකට ලක්ව ඇති බව ක‍්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසද්දී පසුගිය වසර දෙක තුළ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් රුපියල් කෝටි 23 ක් වෙත් ලක්ෂ 2300 කට අධික මුදලක් පාසල් ක‍්‍රිකට් දියුණුව වෙනුවෙන් ලබාදී ඇතැයි වාර්තා වේ.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් පාසල් ක‍්‍රිකට් පුහුණුකරුවන් 225 දෙනකුට මුදල් බෙදා දීම වෙනුවෙන් පැවැති උත්සවයකදී ක‍්‍රීඩා ඇමැතිවරයා විසින් පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාව දැවැන්ත කඩා වැටීමකට ලක්ව ඇති බව කරුණා කාරණා සහිතව අනාවරණය කළේය. එහිදී පාසල් ක‍්‍රිකට් නංවාලීමට ඔහු උපරිමය දායකවන බව පවසද්දී පසුගිය වසර දෙකක කාලය තුළදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් පාසල් ක‍්‍රිකට් දියුණුව වෙනුවෙන් යොදවා ඇති මුදල රුපියල් කෝටි 23 කට අධික වීමද විශේෂත්වයකි.
වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ පාසල් 650 කට ආසන්න සංඛ්‍යාවක් ක‍්‍රිකට් ක‍්‍රීඩා කළද එහිදී පාසලට අයිති ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණ ඇත්තේ පනහකටත් අඩු සංඛ්‍යාවකි. බොහෝ පාසල්වලට ඉඩකඩ සීමිත වීමෙන් ක‍්‍රීඩාංගණ නොමැති වුවද ක‍්‍රිකට් ක‍්‍රීඩාව කරගෙන යනු ලබයි. එහිදී පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් පැති විකට්ටු, පන්දු යැවීමේ යන්ත‍්‍ර, තණතීරු ආවරණ, ලණු පැදුරු, ක‍්‍රිකට් උපකරණ සහිත බෑග්, තණතීරු තලන රෝලර් යන්ත‍්‍ර, අත්ට‍්‍රැක්ටර් යනාදිය ලබාදීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කටයුතු කර තිබේ.
පාසල් කි‍්‍රකට් සංවර්ධනය වෙනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ලබාදී ඇති පැති විකට් 220 සඳහා රුපියල් කෝටි 13 ක් වැය වී ඇතැයි සඳහන් වේ. මීට අමතරව පන්දු යැවීමේ යන්ත‍්‍ර 17 ක් සඳහා රුපියල් 13,600,000 ක්ද තණතීරු ආවරණ 25 ක් සඳහා රුපියල් කෝටියක්ද, ලණු පැදුරු 300 ක් සඳහා එක් කෝටි පනස් ලක්ෂයක්ද, ක‍්‍රිකට් උපකරණ සහිත බෑග් 200 ක් සහ රුපියල් කෝටියක්ද, රෝලර් යන්ත‍්‍ර 24 ක් සඳහා රුපියල් කෝටි තුනක්ද, අත්ට‍්‍රැක්ටර් 24 ක් සඳහා එක් කෝටි පනස් ලක්ෂයක් සහ තණතීරු රෝලර් සඳහා රුපියල් ලක්ෂ හැටක් වශයෙන් ලබාදී තිබේ.
මීට අමතරව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් පාසල් ක‍්‍රිකට් සංගමයට වසරකට රුපියල් ලක්ෂ 18 ක අනුග‍්‍රහයක් දක්වන අතර ලකුණු සටහන්කරුවන් සහ ක‍්‍රිකට් පන්දුද පාසල් ක‍්‍රිකට් වෙනුවෙන් වාර්ෂිකව ලබාදේ. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය එතරම් දායකත්වයක් පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට දක්වා තිබුණද අද වන විට ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් ඉස්මතු වන දක්ෂයන්ගේ සම්භාවිතාවක අවම අගයක් පැවතීම කණගාටුවට කරුණකි.