පාපන්දු සංචිතය විසුරුවයි

ශ්‍රී ලංකා පාපන්දු සංචිතය මාස 2ක කාලයකට විසුරුවා දමයි. පාපන්දු සම්මේලනය සංවිධාන කරන නව අන්තර් පළාත් පාපන්දු තරගාවලියට ජාතික පිලේ ක්‍රීඩකයන් සහභාගී කරවීමේ අරමුණින් ශ්‍රී ලංකා පාපන්දු සංචිතය විසුරුවා හැරීමට තීරණය කර තිබේ. ජාතික පිලේ සියලු ක්‍රීඩකයන් තමන් උපන් පළාත වෙනුවෙන් ක්‍රීඩා කිරීම අනිවාර්ය වන අතර, තරගාවලිය අවසානයේ උපරිම දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් නව ජාතික පාපන්දු සංචිතයක් නිර්මාණය කිරීමට කටයුතු යෙදේ.

නව අන්තර් පළාත් පාපන්දු තරගාවලිය මේ මස 22දා අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන අතර, පළාත් අටක පාපන්දු කණ්ඩායම් දින දෙකක් තුළ තරග හතරකට සහභාගි වේ. තරගාවලිය පෙබරවාරි මස 28 වැනි දින අවසන් කිරීමට අපේක්ෂා කරන අතර, සෑම පළාතකම තරග සංවිධාන කිරීමට කටයුතු යොදා ඇත. එමගින් සෑම පළාතකම ක්‍රීඩකයන්ගේ දක්ෂතා එම පළාතේ ක්‍රීඩා ලෝලීන්ට දැක ගැනීමේ අවස්ථා හිමිවන අතර, අනෙක් පළාත්වල ක්‍රීඩකයන් හඳුනා ගැනීමේ අවස්ථා ද උදා වනු ඇත.

මේ අන්තර් පළාත් පාපන්දු තරගාවලියේ කණ්ඩායම් සඳහා මෙරට සිටින ප්‍රධාන පෙළේ පුහුණුකරුවන් තෝරා ගෙන ඇති අතර, වයඹ හා උතුරු මැද පළාත් දෙක එක් කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරන හෙයින් එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රාජමනී දේවසභායගම් මහතා පත් කොටඇත. බස්නාහිර පළාත් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සුමිත් වල්පොල, මධ්‍යම පළාත් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රුමී පකීර් අලී, නැගෙනහිර පළාත් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එම්. එච්. එම්. රූමී, උතුරු පළාත් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ජැස්මීන්, ඌව පළාත් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එම්.එච්.එම්. හම්සා, දකුණු පළාත් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශිරන්ත කුමාර හා සබරගමු පළාත් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එම්. එම්. රහුමාන් මහත්වරු කටයුතු කරති.

සියලුම කණ්ඩායම්වලට ප්‍රධානියකු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පත්කොට ඇති අතර, එහිදී උප සභාපතිවරුන් සියලු දෙනාට වගකීම් පවරා ඇත. බස්නාහිර පළාත් කණ්ඩායම භාරව නියෝජ්‍ය පොලිස්පති කේ. පී. පී. පතිරණ, මධ්‍යම පළාතට රංජිත් රුද්‍රිගූ, උතුරු පළාතට සී. ආනෝල්ඩ්, දකුණු පළාතට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දිල්ෂාන් නාගහවත්ත යන උප සභාපතිවරු කණ්ඩායම් භාර ප්‍රධානීන් ලෙස පත් කොට ඇත.

නැගෙනහිර පළාත් කණ්ඩායම භාරව සම්මේලනයේ නියෝජ්‍ය ලේකම් අබ්දූල් මනාෆ්, සබරගමු පළාත භාරව සම්මේලනයේ ලේකම් නියෝජ්‍ය පොලිස්පති උපාලී හේවගේ, වයඹ හා උතුරු මැද පළාත් කණ්ඩායම භාරව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. ඩී. චන්ද්‍රපාල මහත්වරු නම් කොට ඇත.

ශ්‍රී ලංකාව තුල දැනට ක්‍රියාත්මකව පවතින 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බෙදා වෙන් කර ඇති පළාත් ව්‍යුහයෙන් ඔබ්බට ගොස් නව පළාත් ක්‍රීඩා තරගාවලි සැලසුම් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය සියලු ක්‍රීඩා සංගම්වලට උපදෙස් දී ඇත. එය මෙරට ක්‍රීඩාව වඩාත් තරගකාරී තත්ත්වයකට පත් කිරීමේ නිර්මාණශීලී සැලසුමක් බව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ අදහස වී තිබේ.

රට වෙනුවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට නම් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පළාත් තරගාවලි ක්‍රීඩා කිරීම අනිවාර්ය කරන නව ක්‍රීඩා රෙගුලාසි මේ වසරේ හඳුන්වා දෙන බැවින් මෙරට ලියාපදිංචි සියලු ක්‍රීඩා සංගම් පළාත් ක්‍රීඩා තරගාවලි සංවිධාන කිරීම සිදු කළ යුතු වේ. එම පළාත් තරගාවලි ජාතික මට්ටමේ ක්‍රීඩකයන් නිර්මාණය කළ හැකි උසස් මට්ටමේ තරගකාරී එකක් විය යුතු බව ද ඇමැතිවරයා අවධාරණය කොට ඇත.