ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලිය අනිද්දා ඇරැඹේ…

අන්තර් ජාතික වෘත්තීය පාපන්දු ලීග් තරගාවලියකට අනුරූපීව ප්‍රථම වතාවට ක්‍රියාත්මක කෙරෙන   “ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලිය”  සඳහා තෝරා ගෙන ඇති සියලූම කණ්ඩායම්  ඒ සඳහා සහභාගි වන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කර සිටී.

ජනවාරි 29 වැනි දින සිට සෑම සිකුරාදා  දවසකම එක් තරඟය බැගින් ද  සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනවල තරග 02  බැගින් ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙවර තරගාවලියට තෝරා ගෙන ඇති ‍ක්‍රීඩා සමාජ සංඛ්‍යාව 10 කි .

බ්ලූ ඊගල් පාපන්දු සමාජය,  කළුතර බ්ලූ ස්ටාර්ස් ක්‍රීඩා සමාජය , කොළඹ පාපන්දු සමාජය,  defenders පාපන්දු සමාජය,  වෙන්නප්පුව නිව් යංග්ස් පාපන්දු සමාජය,  කොළඹ රත්නම් ක්‍රීඩා සමාජය,  පානදුර රෙඩ් ස්ටාර්ස් ක්‍රීඩා සමාජය,  කොළඹ රිනවුන් ක්‍රීඩා සමාජය,  කොළඹ සී හෝර්ක්ස්  ක්‍රීඩා සමාජය සහ නාවලපිටිය අප් කන්ට්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය මෙවර   තරගාවලිය  සඳහා තෝරා ගෙන ඇති කණ්ඩායම් වෙති.

කොළඹ දිසාවේ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කර තිබීම නිසා මෙවර තරගාවලියට නම් කර තිබුණි ඇති ක්‍රීඩා සමාජ 02 කට සහභාගිත්වය පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් උද්ගතව තිබුණි. එහෙත් ශ්‍රි ලංකා පාපන්දු සම්මේලනය සහ එම ක්‍රීඩා සමාජ බලධාරින් අතර කෙරුණු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙවර තරගාවලියට සහභාගි වීමට ඔවුන් එකඟතාවය පළ කර තිබේ.

විදේශීය ක්‍රීඩකයින් ඇතුළුව ශ්‍රී ලංකා ජාතික සුපිරි සංචිතයට අයත් ක්‍රීඩකයින් හා අතිරේක ක්‍රීඩකයින් මෙන්ම මෙරට තුළ සිටින අති දක්ෂතම ක්‍රීඩකයින් සියලු දෙනාම පාහේ මෙම තරග මාලාව සඳහා සහභාගි වීම කැපී පෙනේ . මෙම තරගාවලිය සඳහා සහභාගි වන සෑම  ක්‍රීඩා සමාජයකටම විදේශීය ක්‍රීඩකයින් 04 දෙනෙකු ඇතුළත් කරගත හැකිය.   එම ක්‍රීඩකයින් සිව්දෙනාගෙන් එක් අයෙකු  ආසියාතික රටක වීම ද  අනිවාර්යය.

මෙහි සියලුම තරග කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත් වීමට සංවිධානය කර තිබීම විශේෂත්වයකි. කොරෝනා වෛරස ව්‍යාප්තියෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ හා ක්‍රමවේදයන්ට  අනුකූලව තරග පැවැත් වීමට සුදුසුම ස්ථානය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය වන බැවින් ඒ සඳහා තෝරා ගත් බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කර සිටී.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති අනුර ද සිල්වා මහතා  සහ එහි ගරු ලේකම් ජස්වර් ඔමාර්  මහතා  ප්‍රමුඛ කමිටුවක් විසින් මෙවර තරගාවලිය සංවිධානය කර ගෙන යයි.