2025 කායවර්ධන ලෝක ශූරතාවයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

ලෝක කායවර්ධන ශූරතාවලිය (Mr. World) වසර 2025දී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ජාතික කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය සැලසුම් කරයි.

ලෝක කායවර්ධන ශූරතාවලිය මේ වසරේදී පැවැත්වීමට කලින් සූදානම් වුවද කායවර්ධන සම්මේලනය තුළ පසුගිය කාලයේ පැවති පරිපාලන ගැටලු හේතුවෙන් එය පැවැත්වීමේ අපහසුතා ඇති විය. එබැවින් 2025 වසරේදී ලෝක කායවර්ධන ශූරතාවලිය කොළඹදී පැවැත්වීමට නව නිලධාරී මණ්ඩලය කටයුතු සංවිධාන කරමින් සිටී.

රටවල් 72කින් ක්‍රීඩකයන් 765ක් පමණ සහභාගී වන ලෝක කායවර්ධන ශූරතාවලිය වැනි දැවැන්ත තරගාවලියක් ශ්‍රී ලංකාව වැනි රටකට ලබා ගැනීම ඉතා අභියෝගාත්මකව තිබියදී එම සත්කාරකත්වය වසර 2015දී ස්පාඤ්ඤයේ පැවති අන්තර්ජාතික කායවර්ධන සම්මේලන සභාවේදී ශ්‍රී ලංකාවට පිරිනැමීමේ යෝජනාව ඉදිරිපත් විය. එම සත්කාරකත්වය පිරිනැමීමේ යෝජනාව මෙයට පෙර ඩුබායි ලෝක තරගාවලිය අතරතුර පැවති විධායක කමිටු රැස්වීමේදී ඒකමතිකව සම්මත කිරීමට අන්තර්ජාතික කායවර්ධන සම්මේලනය කටයුතු කළේය.

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ පූර්ණ ආශිර්වාදය මැද ලෝක කායවර්ධන ශූරතාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමේ නිල නිවේදනය හා ජාතික කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ ඉදිරි පස් අවුරුදු සැලැසුම ඉදිරිපත් කිරීම පිළිබඳ මාධ්‍ය හමුවක් පසුගියදා පැවති අතර, එහිදී 2025 ලෝක කායවර්ධන රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා ගැනීම වෙනුවෙන් විශේෂ සැලසුමක් ඇති බව සම්මේලන නිලධාරීහු සඳහන් කළහ.

ජාතික කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ ප්‍රධාන උපදේශක කපිල කුමාර මහතා පැවසුවේ ලෝක කායවර්ධන ශූරතාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡා සියල්ල සාර්ථක කර ගැනීමට හැකි වූ බවයි. මේ සඳහා ක්‍රීඩා ඇමැතිවරයා ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යාංශයේ සියලු සහයෝගය හිමිව ඇතැයි ද ඒ මහතා පැවසීය. “ලෝක කායවර්ධන ශූරතාවලිය පැවැත්වීම සම්බන්ධව මතු වන ගැටලු සියල්ල අප විසදා ගත්තා. මෙවැනි තරගාවලියක් පැවැත්වීම පහසු නෑ. ජාතික කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය විසින් මේ වන විට දිස්ත්‍රික් හා පළාත් නිලධාරීන් පත් කොට ඔවුන්ගේ වගකීම් පැහැදිලි කොට තිබෙනවා. අප ලෝක කායවර්ධන ශූරතාවලිය ඉලක්ක කොට වසර 4ක සැලසුමක් සකස් කළා. අපේ එම සැලසුමේ ඉලක්කය වන්නේ 2025දී රන් පදක්කම දිනා ගැනීමයි. මේ සඳහා කායවර්ධන ක්‍රීඩාවට ඇලුම් කරන සියලු දෙනාගේ සහයෝගය ගන්නවා” කපිල කුමාර මහතා පැවසීය.

ලෝක කායවර්ධන ශූරතාවලිය වසර 2025දී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන දින හා කාල වකවානු අන්තර්ජාතික සම්මේලනය සමඟ සාකච්ඡාවකින් අනතුරුව ප්‍රකාශයට පත් කරන බව සඳහන් විය.