සුරංග ලක්මාල් පන්දු යැවීම වෙනස් කරයි

Sri Lankan cricketer Suranga Lakmal delivers a ball during a practice session at the Rangiri Dambulla International Cricket stadium in Dambulla on August 30, 2016. / AFP / ISHARA S.KODIKARA (Photo credit should read ISHARA S.KODIKARA/AFP/Getty Images)

ඉන්දියාව සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ මෙන්ම එක්දින තරගාවලියේදී සුරංග ලක්මාල්ගේ පන්දු යැවීම වඩාත් කතාබහට ලක්විය. ශ්‍රී ලංකා කණ්ඩායමට අත්‍යඅංශයම තිබූ වේග පන්දු යවන්නාගේ කර්තව්‍ය සුරංග ලක්මාල් මේ වන විට සියයට සියයක්ම සපයමින් සිටින අතර ඔහුගේ දක‍ෂතා මුවහත් වීමටද හේතුවක් තිබේ.
‘මම පසුගිය කාලයේ විවිධ ආබාධවලට ලක්වුණා. එක දිගට කණ්ඩායමේ ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණෙ නැහැ. දැන් මම ශාරීරික සහ කායික වශයෙන් හොඳ තැනක ඉන්නවා. මේ කාලයේ මගේ පන්දු යැවීම ඉතාමත් හොඳ තැනක තියෙනවා. ඒකට හේතුවක් තමයි මම පන්දු යවන්න දුවන ආකාරය සහ පන්දු යවන ඉරියව්වේ පොඩි වෙනස්කමක් කළා. දැන් මගේ පන්දුව දෙපැත්තටම දෝලනය වෙනවා.’ යැයි සුරංග ලක්මාල් සිය දක‍ෂතාව මුවහත්වීම සම්බන්ධයෙන් පවසයි.
ඉන්දියානු කණ්ඩායම සමග ධර්මශාලාහිදී පැවැති පළමු එක්දින තරගයේදී ඉන්දියානු කණ්ඩායම ලකුණු 40 කට සීමා කර දැමීමට තිබූ බවත් ලක්මාල් පවසයි. ‘පළමු එක්දින තරගයේදී ඉන්දියානුවන්ව ලකුණු 40 කට සීමා කරන්න අපට අවස්ථාව තිබුණා. නමුත් දෝනිගේ කඩුල්ල ලබා ගන්න බැරි වුණ නිසා තමයි ඔවුන්ට ලකුණු සියයේ සීමාව පන්නා යෑමට හැකියාව ලැබුණේ. ඒ තරගයට එන විට මට මගේ ශාරීරික සෞඛය හොඳ තැනක තිබුණෙ නැහැ. නමුත් මට ක්‍රීඩා කරන්න පුළුවන් කියන විශ්වාසය තිබ්බා. ඒ නිසා මගෙන් ඇහුව්වාම මම කිව්වා මට පුළුවන් කියලා. කොහොම හරි පළමු වරට මම පන්දුවාර දහයම එක දිගට යැව්වා.’ යැයි ලක්මාල් වැඩිදුරටත් කීවේය.
30 වැනි වියේ පසුවන සුරංග ලක්මාල් මේ වන විට ටෙස්ට් තරග 42 කදී කඩුලූ 96 ක්ද එක්දින තරග 68 කදී කඩුලූ 94 ක්ද ලබා ගෙන තිබේ. 2009 වසරේදී සුරංග ලක්මාල් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ අතර 2010 දී ඔහු ටෙස්ට් වරම් ලැබීය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දුෂ්කර ගමක හේන් ගොවිතැන් කරන පවුලක ඉපිදුන මේ විශිෂ්ඨයා ශ්‍රී ලංකාවට අනාගතයේදී තවත් ජයග්‍රහණය ලබාදෙනු ඇතැයි රටම බලා සිටියි.