තරග පාවාදුන්නෙ කවුද කියලා නීතිය ඉදිරියට ගේන්න – මාලිංග

2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා කරන චෝදනාවට විස්සයි විස්ස නායක ලසිත් මාලිංගද පිළිතුරු ලබාදෙයි. එම ලෝක කුසලාන නියෝජනය කළ ක‍්‍රීඩකයෙක් හැටියට ඔහු මෙසේ සඳහන් කරයි.
‘‘2011 ලෝක කුසලාන ක‍්‍රීඩා කළ ක‍්‍රීඩකයෙක් විදිහට සහ ඒ අවසන් මහා තරගයේ ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලූ දෙකම ලබාගත් ක‍්‍රීඩකයෙක් විදිහටයි මම කියන්නේ. ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලොකු චෝදනාවක් එල්ල කරලා තියෙනවා අපි තරගය මුදලට පාවා දුන්නා කියලා.’’
‘හරිම සරළ කාරණාවක් තියෙන්නෙ මුදලට පාවා දුන්නා කියලා. ඒ දේවල් දන්නවා කියලා කියනවා. මම හිතනවා මේක අපි රටක් විදිහට ඉතාමත් අපකීර්තියට පත්වෙච්ච අවස්ථාවක්. මේකේ සත්‍ය හොයන්න මං හිතන්නේ නෑ වැඩි කාලයක් යාවි කියලා. මොකද හේතුව කළා කියලා දන්නවානම්, කරපු කට්ටියත් දන්නවානම් ඒක හොයන්න මහා දින ගණනක් යන්න හේතුවක් නෑ.’
‘අනිත් කාරණය තමයි ජනතා නියෝජිතයෙක් විදිහට එහෙම දෙයක් කියනවානම් ජනතාව නොමග යවන්නේ නැතිව ජනතාවට ප‍්‍රසිද්ධියේ මෙන්න මේ අය තමයි තරගය පාවා දුන්නේ.. මෙන්න මේ අය තමයි තරගය පාවා දෙන්න මේ විදිහට කටයුතු කළේ කියලා දැනුවත් කිරීමේ හැකියාව තියෙන්න ඕන. එහෙම කරන්න හැකියාවක් නැත්තම් ජනතාව දැනගන්න ඕන ජනතාව විසින්ම මේ වගේ බොරු චෝදනා කරන අය ප‍්‍රතික්ෂේප කරන්න.’’
‘‘මම මේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සුබ සිද්ධිය සඳහා අනාගතයේ ක‍්‍රීඩා කරන ක‍්‍රීඩකයන් වෙනුවෙන් ඔවුන්ගේ දෙමව්පියන් වෙනුවෙන් මේ ක‍්‍රීඩාව දෙස බලන අප‍්‍රසන්න දැක්ම නැති කරන්න මං හිතනවා රජයක් විදිහට හෝ නීතිය ක‍්‍රියාත්මක කරන්න පුළුවන් උපරිමයෙන් ක‍්‍රියාත්මක කරලා තරග පාවා දුන්නේ කවුද ඒ ගොල්ලෝ නීතිය ඉදරියට ගෙනල්ලා සාධාරණයක් කරන්න. ක‍්‍රිකට් කී‍්‍රඩාව පිරිසිදු ක‍්‍රීඩාවක් විදිහට පත් කරන්න ඒ දේ කරන්න ඕන. ක‍්‍රමවේදයක් නැතිනම් ක‍්‍රමවේදයක් හදලා හරි මේකට ඉක්මනින් කටයුතු කරන්න කියලා ඉල්ලනවා.’’ යැයි මාලිංග වැඩිදුරටත් පවසයි.