මහින්දානන්දගේ පාවාදීමේ කතාවට අරවින්දගෙන් සැර පිළිතුරක්

වසර නවයකට පසුව 2011 ලෝක ශූරතාව යම් කිසි පාර්ශ්ශවයක් දැනුවත්ව ඉන්දියාවට පාවා දුන් බව එකට හිටපු ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා කළ චෝදනාව සමග එය දැන් බොහෝ දෙනෙකුගේ මාර්තෘකාවට බඳුන්ව තිබේ. කෙසේ වෙතත් කණ්ඩායම තේරීමේදී යම්කිසි සැකයක් සිදුවු බවට හිටපු ක‍්‍රීඩා ඇමැතිවරයා චෝදනා කරන්නේ වක‍්‍රාකාරයෙන් එවකට හිටපු ක‍්‍රිකට් තේරීම් කමිටුවටය.
2011 වසරේ ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වාට ඇඟිල්ල දිගු කරමින් මහින්දානන්ද අලූත්ගමගේ හිටපු ක‍්‍රීඩා ඇමැතිවරයා පවසන්නේ, ‘‘මේකට ක‍්‍රීඩයන් සම්බන්ධ නැහැ. නමුත් තේරීම් සම්බන්ධ ප‍්‍රශ්නයක් තියෙනවා. හවස එවපු කණ්ඩායම නෙමෙයි උදේ ක‍්‍රීඩා කළේ. මට සාධාරණ සැකයක් තියෙනවා.’’ යනුවෙනි. නමුත් අරවින්ද ද සිල්වා පවසන්නේ මහින්දානන්ද අලූත්ගමගේ විසින් කියන කතාව අමුලික බොරුවක් බවයි.
‘‘මේ කතාව ඇත්තටම කම්පනයක් සහ හිත් රිදවීමක් ඇති කරවන්නක්. අමුලික බොරුවක්. ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දෙවියන් වෙනුවෙන් හෝ සචින් ටෙන්ඩුල්කාර් වෙනුවෙන් මේ ගැන හොයා බලන්න කියා මම ඉන්දියානු ක‍්‍රිකට් ආයතනයෙන් ඉල්ලා තියෙනවා.’’ යැයි අරවින්ද ද සිල්වා පවසයි.
1996 ලෝක කුසලාන අවසන් මහා තරගයේ ශතකයක් ලබා ගනිමින් තරගයේ වීරයා වු අරවින්ද ද සිල්වා එදා ශ‍්‍රී ලංකාවට ලෝක ශූරතාව දිනා දීමට අමිල මෙහෙවරක් කළ ක‍්‍රීඩකයෙකි. ඉන් පසු එළැඹෙන 2011 ලෝක කුසලානයේදී තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් ඔහුට එවකට හිටපු ක‍්‍රීඩා ඇමැතිවරයා චෝදනා කර සිටියි.
‘‘මෙවැනි බරපතල චෝදනාවක් එල්ල කරන විට ඒක බොහෝ දෙනකුට බලපානවා. මේ අවස්ථාවේදී අප පමණක් නොවෙයි තේරීම් කමිටුව, ක‍්‍රීඩකයන් සහ කණ්ඩායමේ කළමණාකාරීත්වය වගේම ලෝක ශූරතාව දිනා ගත් ඉන්දීය කී‍්‍රඩකයන්ටද ඒක බලපානවා. අපි ආදරය කරන ක‍්‍රීඩාවේ වැඩි යහපතක් සඳහා මෙවැනි දේවල් තවත් වරක් නොවෙන්න පරීක්ෂණ කළ යුතුයි.’’
ශ‍්‍රී ලංකාව එදා 1996 ලෝක කුසලාන ජයග‍්‍රහණය අගය කළා සේම ඉන්දියාවද 2011 ලෝක කුසලාන ජයග‍්‍රහණය අගය කරන බවත් අදාළ ප‍්‍රකාශය සම්බන්ධව පරීක්ෂනයක් සිදුකරමින් සත්‍ය පෙන්වා දිය යුතු බවත් අරවින්ද වැඩිදුරටත් පවසයි.
‘අපි අපේ ලෝක කුසලාන (1996* ජයග‍්‍රහණය අගය කළා සේම සචින් ටෙන්ඩුල්කාර් වැනි ක‍්‍රීඩකයන් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම මෙම අවස්ථාව අගය කරනවා. මම හිතන්නෙ සචින් සහ ඉන්දියාව පුරා සිටින මිලියන සංඛ්‍යාත ක‍්‍රිකට් ලෝලීන්ගේ උනන්දුව අනුව ඔවුන් ස්ථාවර ලෝක කුසලාන දිනා ඇත්දැයි සොයා බැලීමට අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කිරීම ඉන්දියානු රජයේ සහ ක‍්‍රිකට් ආයතනයේ යුතුකමක්.’’
2011 ලෝක කුසලාන අවසන් මහා තරගයට පෙර දිනයේදී ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාට ඉදිරිපත් වූ අවසන් සංයුතිය තරගය දින උදෑසන දැක ගැනීමට නොහැකි වූ බව පවසයි. ඒ අනූව තේරීම්වලදී සාධාරණ සැකයක් ඔහුට මතුවන බව වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
කෙසේ වෙතත් එදා පැවැති අවසන් මහා තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් හතරක් සිදුවිය. ආබාධයකට ලක්ව සිටි ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා යොදවා ගත්තේ චමින්ද වාස්ද බංකුවේ තබමිනි. අනතුරුව දඟ පන්දු යවන සුරාජ් රන්දිව් සංචිතයට එක් වූයේ අජන්ත මෙන්ඩිස් බංකුවේ සිටියදීය. රංගන හේරත්ගේ වමත වෙනුවට නුවන් කුලසේකරට අවසන් මහා තරග වරම ලැබුණි. චාමර සිල්වා වෙනුවට චාමර කපුගෙදරව කණ්ඩායමට එක් කර තිබීමද කාගෙත් මාර්තෘකාවට බඳුන් විය. ඒ සියල්ල ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයාට තනිව කළ නොහැක. කණ්ඩායම් නායකයා, පුහුණුකරු සහ කළමණාකරු දැන ගත යුතු පොදු තීරණයකි. එබැවින් මහින්දානන්ද අලූත්ගමගේ මහතා කියන කතාවේ සත්‍ය ඉදිරියේදී වැටහෙනු ඇත.