ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ නම් යෙදු ප‍්‍රිමියර් ලීගය ඉන්දියානු බුකී කරුවන්ගේ වැඩක්

ශ‍්‍රී ලංකාවේ කිසිදු ක‍්‍රීඩකයකු නොදැන ව්‍යාජ ලෙස ඌව විස්සයි විස්ස ප‍්‍රිමියර් ලීග් තරගාවලියක් පවත්වන බවට ලෝකයටම ප‍්‍රසිද්ධ කළ ඉන්දියාවේ ඔට්ටු තබන බුකී කරුවන්ව හඳුනා ගැනීමට මොහාලි පොලිසිය සමත්ව තිබේ. පසුගිය 29 වැනිදා සිට මෙම තරගාවලිය ක‍්‍රියාත්මක වන බවට අදාළ බුකී කරුවන් විසින් සමාජ ගත කර තිබුණි.
ඉකුත් 29 වැනිදා බදුල්ලේදී සජීවීව මෙම තරගය පැවැත්වෙන බව සඳහන් කරමින් ඉන්දියානු බුකී කරුවන් විසින් පන්ජාබ් ප‍්‍රාන්තයේ අධිවේගී මාර්ග ආසන්නයේ පිහිටි චන්දිගාර් නගරයට කි.මී. 16 ක් පමණ දුරින් පිිහිටි ගම්මානයක මෙම තරගය පවත්වා ඇති අතර ඊට කිසිදු ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයකුද සහභාගි නොවී තිබුණි.
කෙසේ වෙතත් කොරෝනා වසංගතය හේතුවෙන් ක‍්‍රීඩකයන් මුහුණු ආවරණ පැළඳ ක‍්‍රීඩා කළ අතර එහිදී කී‍්‍රඩකයන් හඳුනා ගැනීමට අපහසුවී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. නමුත් ශ‍්‍රී ලංකාවේ බදුල්ලේ පවත්වන බව සඳහන් කරමින් මෙම තරගය ඉන්දියාවේ පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ බුකී කරුවන් විසින් ඔට්ටු ඇල්ලීම පිණිසය.
අදාළ වැටලීමේදී අට දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දියාවේ මොහාලි පොලිසිය සමත්ව ඇති අතර තවත් හය දෙනකු අත්අඩංගුවට ගැනීමට ඔවුන් මෙහෙයුමක් දියත් කර තිබේ. මෙම තරගයට පන්ජාබයේ නොදන්න ක‍්‍රීඩකයන් පිරිසක් සහභාගි වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
ඌව විස්යි විස්ස ප‍්‍රිමියර් ලීග් නමින් ප‍්‍රචාරය කළ මෙම තරගාවලියේ කණ්ඩායම් හතරේ නායකයන් වශයෙන් තිලකරත්න ඩිල්ෂාන්, ෆර්විස් මහරුෆ්. අජන්ත මෙන්ඩිස් සහ තිලාන් තුෂාර නම් කර තිබුණි. නමුත් එම කිසිම ක‍්‍රීඩකයකුට එවැනි තරගාවලියකට ආරාධානයක් ලැබී නොමැති බවත් කවුරුන් හෝ අසත්‍ය ප‍්‍රචාරයක් කරන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
‘‘අපි දන්නෙත් නෑ. මේක ඇත්තටම අපේ නම් වලටත් හරි නෑ. මේ ගැන පැමිණිලි කරන්න ඕන. අපි නොදැනුවත්ත කරන මේ වැඩ ඇත්තටම කැතවඩක්.’’ යනුවෙන් එක් කණ්ඩායමකට නායකයා වශයෙන් නම් කර තිබූ අජන්ත මෙන්ඩිස් පැවසීය.
ලොව පුරා ප‍්‍රසිද්ධ මාධ්‍ය ජාලා කිහිපයකම මෙම තරගාවලිය පැවැත්වෙන බව වාර්තා කර තිබු අතර එහිදී තරගය යු ටියුබ් සහ ෆේස් බුක් ඔස්සේ සජීවීව නැරඹිය හැකි බවද ප‍්‍රචාරය කර තිබුණි. ඒ අනූගව ඉකුත් 29 වැනිදා තරගය ප‍්‍රචාරය කරමින් බුකී කරුවන් විසින් ව්‍යාජ මුදල් ඉපයීමේ කර්තව්‍යයක නියැලී තිබේ. තරගාවලියේ අනුග‍්‍රාහකයන් වශයෙන් මෙරට ප‍්‍රධාන වෙළෙඳ සමාගම් කිහිපයක්ම නම් කර තිබුණද එම සමාගම්ද අදාළ තරගාවලිය් සම්බන්ධව කිසිවක් නොදන්නා බව ‘දිවයින’ කළ සොයා බැලීමකදී අනාවරණය විය.
මේ දිනවල ඔස්ටේ‍්‍රලියාවේ සිටින තිලකරත්න ඩිල්ෂාන්ව මොනරාගල හොරෙන්සස් යන කණ්ඩායමකට නම් කර තිබුණි. තරගපාවාදීම් සම්බන්ධව විවිධ විවේචන සහ අදහස් කරළියට පැමිණෙද්දි ගෝලීය වශයෙන් අසත්‍ය තරගාවලියක් ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන බව ප‍්‍රචාරය කිරීම මෙරට ප‍්‍රතිරූපයට එතරම් හොඳ නැති බව ‘දිවයින’ විසින් ඉකුත් 30 වැනිදා අනාවරණය කිරීමෙන් පසුව මෙම තරගාවලිය ව්‍යාජ තරගාවලියක් බවට ප‍්‍රචාරය වීම ආරම්භ විය.
මීට පෙරද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සහභාගී කරගනිමින් ටී 10 තරගාවලියක් පවත්වන බවට අසත්‍ය වාර්තා පළ වු අතර ඒ සම්බන්ධව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ කොන්ත‍්‍රාත්ගතව සිටින කිසිම ක‍්‍රීඩකයකු එවැනි තරගාවලියකට සහභාගි නොවන බවත් ඒ සඳහා ඉල්ලීමක්ද කර නොමැති බවයි.