2011 ලෝක කුසලාන පාවාදීම බොරුවක් කියා පරීක්ෂණ නවතයි

පසුගිය සති කිහිපයේදීම හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් 2011 ලෝක කුසලාන පාවාදුන් බවට කළ චෝදනාව සම්බන්ධයෙන් කළ පරීක්ෂණ නවතා දැමිමට ක‍්‍රීඩා වැරැුදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ෂණ ඒකකය ඒකමතිකව තීරණය කර තිබේ.
හිටපු ක‍්‍රීඩා ඇමැතිඅලූත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කළ චෝදනා 14 සම්බන්ධයෙන් දින තුනක් පුරා කළ පරීක්ෂණ අනුව තවදුරටත් ක‍්‍රීඩකන් ගෙන්වා පරීක්ෂණ කිරීම තේරුමක් නැති බවට විමර්ෂණ ඒකකය තීරණය කළේය. 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ කණ්ඩායම වෙනස් කිරීම සම්බන්ධයෙන් අලූත්ගමගේ මහතා කළ චෝදනාවට සාධාරණ හේතු ඉදිරිපත් කිරීමට පරීක්ෂණ සඳහා පැමිණි හිටපු ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා, නායක කුමාර් සංගක්කාර සහ ආරම්භක පිතිකරු උපුල් තරංග සමත්ව ඇතැයි විමර්ෂණ ඒකකය පවසයි.
‘‘මේ දක්වා ලබාගත් කට උත්තර තුන අනුව තේරුම් ගියා මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඉදිරිපත් කළ කරුණු 14 සනාථ කරන්න හැකියාවක් නෑ කියලා. ඒ වගේම අයි.සී.සී. එකට ලිපි යොමු කළා කිව්වත් අයි.සී.සී. ය ප‍්‍රතිචාර දක්වලත් නෑ පරීක්ෂණයක් කරලත් නෑ. අපි කට උත්තර ගත්ත තුන්දෙනාම සාධාරණ හේතු ඉදිරිපත් කරලා තියෙනවා. කණ්ඩායම මාරු කිරීමට හේතුව තමයි විශේෂයෙන් සොයා බැලූවේ.’’ යැයි පරීක්ෂණ කළ ඒකකයේ ප‍්‍රධාන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා පවසයි.
ක‍්‍රීඩා අමාත්‍යාංශයේ 2019 අංක 24 දරණ ක‍්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ විමර්ෂණ ඒකකය පිහිටුවීමෙන් අනතුරුව කළ පළමු පරීක්ෂණයද මෙය විය. 2011 ලෝක කුසලානයේදී කණ්ඩායමේ උපනායකයා වූ මහේල ජයවර්ධනද අද කට උත්තර ලබාදීමට පැමිණියත් ඔහුගෙන් කට උත්තර අවශ්‍ය නැති බව විමර්ශණ ඒකකය පවසා තිබේ. ඒ අනුව අදාළ පරීක්ෂණ සම්බන්ධ වාර්තාවක් ක‍්‍රීඩා අමාත්‍යාංශ ලේකම්ට ලබාදීමට ක‍්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ෂණ ඒකකය තීරණය කර තිබේ.