විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ජය ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම

බටහිර ඉන්දීය කොදෙව් – ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ලකුණු 30කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ සමත් විය.

ඒ අනුව තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 1ට 0ක් ලෙස පෙරමුණ ගෙන තිබෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.

ලක්නව් හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 164ක්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් එවින් ලුවිස් පන්දු 41කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් සමඟින් ලකුණූ 68ක් රැස් කළේය.

කිරන් පොලාඩ් නොදැවී ලකුණු 32යි.

පන්දු යැවීමේදී ගුලබ්ඩීන් නයිබ් ලකුණු 24කට කඩුලු 2ක් දවා ගත්තේය.

ලකුණූ 165ක ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 134ක් පමණයි.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් නජිබුල්ලා සද්‍රාන් ලකුණු 27ක් රැස් කළේය.

පන්දු යැවීමේදී කේශ්‍රික් විලියම්ස් ලකුණු 17කට කඩුලු 3ක් සහ කිරන් පොලාඩ් ලකුණු 17කට කඩුලු 2ක් දවා ගැනිමට සමත් විය.