ලෝක ශූරතාවලියට ගිය හිරුණි විජයරත්නට මොකද වුනේ

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය කටාර්හි දෝහා නුවරදී ආරම්භ විය.එහි පළමු දිනයේදී ඉසව් රැසක මූලික වටයේ තරග පැවැති අතර කාන්තා මැරතන් තරගය ආරම්භ වූයේ, මෙරට වේලාවෙන් අද අලුයම 2.29 ටයි.මෙවර ලෝක ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන එකම ක්‍රීඩිකාව වන හිරුණි විජයරත්න ඊට සහභාගී විය.කෙසේ නමුත් සෙල්සියස් අංශක 32 ක උෂ්ණත්වයක් යටතේ පැවැති මෙම තරගයේදී හිරුණිට ධාවනයේ නිරත වීමට හැකි වූයේ කිලෝමීටර් 20 ක දුරක් පමණි.ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුටම අධික උෂ්ණත්වය හේතුවෙන් තරගය අවසන් කිරීමට සමත් වූයේ නැත.පැය දෙකයි මිනිත්තු 32 යි තත්පර 43 ක කාලයක් සටහන් කළ කෙන්යාවේ ”රූත් චෙප්න්ගෙටිච්” ඉන් ජය ගත්තාය.ඒ අනුව ඇය ඉතිහාසයට එක් වූයේ, මෙවර ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කමක් දිනූ පළමු ක්‍රීඩිකාව ලෙසයි.පසුගියවර ලෝක ශූරතාව දිනූ බහරේනයේ රූත් චෙලිමෝට මෙවර රිදී පදක්කමකින් සෑහීමට පත් වීමට සිදු විණි.ලෝකඩ පදක්කම හිමි වූයේ නැමීබියාවේ හෙලාලියා ජොහැන්නස්ටයි.ඇය මෙම ඉසව්වේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ශූරිය ද වේ.