ඉන්දියානු ක‍්‍රිකට් ආයතනයට රොබින් උත්තාපාගෙන් අභියෝගයක්

ඉන්දියානු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් හට විදෙස් තරගාවලි ක‍්‍රීඩා කිරීමට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස හිටපු ඉන්දියානු ක‍්‍රිකට් ක‍්‍රීඩක රොබින් උත්තාපා සඳහන් කරයි. බී.බී.සී. ය සමග පැවැති සම්මුඛ සාකච්ඡුාවකදී ඔහු මේ බව පවසා තිබේ.
ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය විසින් තම රටේ ක‍්‍රීඩකයන්ට අයි.පී.එල්. හැරුණු විට වෙනත් තරගාවලි වලට සහභාගි වීම තහනම් කර තිබේ. ‘‘කරුණාකර අපට ගිහින් සෙල්ලම් කරන්න ඉඩ දෙන්න. දෙවියන් වහන්සේට අවංක වෙන්න.’’ යනුවෙන් උත්තාපා පවසයි.
ක‍්‍රිකට් ක‍්‍රීඩකයකුට හැකි තරම් ඉගෙන ගැනීමට දේවල් තිබෙන බැවින් ඔවුන්ට එම නිදහස ලබා දිය යුතු බවත් එමගින් ක‍්‍රීඩකයන් වර්ධනය වන බවත් උත්තාපා පවසයි. මීට පෙර හිටපු ඉන්දියානු ක‍්‍රීඩකයකු වන සුරේෂ් රයිනාද තම රටේ ක‍්‍රීඩකයන්ට විදෙස් තරගාවලිවලට සහභාගි වීමට අවසර ලබාදිය යුතු බව මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළේය.
‘‘ගංගුලි යනු ඉතා ප‍්‍රගතිශීලී චින්තනයක් තියෙන මිනිසෙක්. සෑම විටම ඉන්දියාව ඊළඟ මට්ටමට ගෙන යෑමට අපේක්ෂා කළ අයෙක්. ඔහු ඉන්දියානු ක‍්‍රිකට් ක‍්‍රීඩාව දැන් තියෙන තැනට ගෙන එන්න අඩිතාලම දැමුවෙක්. අපි බලාපොරොත්තු වෙනවා ඔහු යම් වෙලාවක මේ දෙස බලයි කියලා.’’ යනුවෙන් උත්තාපා වැඩිදුරටත් සඳහන් කරයි.