යොවුන් ඔලිම්පික් උළෙලක් සිව් වසරකට අත්හිටුවයි

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කෝවිඞ් 19 වෛරසය හමුවේ 2022 වසරේ සෙනගල් හී ඩකාර් නගරයේ පැවැත්වීමට නියමිතව තිබු සිව්වැනි යොවුන් ඔලිම්පික් උළෙල සිව්වසරකින් කල් දැමීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පියවර ගෙන තිබේ.
ලබන 2022 වසරේ ඔක්තෝම්බර් මස 22 වැනිදා සිට නොවැම්බර් මස 09 ැනිදා දක්වා ඩකාර් හී පිහිටි ‘නිව් මේන් ස්ටේඩියම්’හිදී මෙම යොවුන් ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව තිබුණි. කොරෝනා වසංගතය හේතුවෙන් සියලූම ක‍්‍රීඩා කල් දැමීමේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ඉදිරි වසර තුන ඇතුළත ඔලිම්පික් තරගාවලි පහක් පැවැත්වීම අසීරු බැවින් මෙම යොවුන් ඔලිම්පික් උළෙල 2026 දක්වා කල් දමන ලදී.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බැච් සහ සෙනගන් ජනාධිපති මැකී සෝල් සමග පැවැති දුරකතන සංවාදයකින් පසුව මෙම තීරණය ගත් බව ඔලිම්පික් කමිටු සභාපතිවරයා පවසයි. මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබු ජාත්‍යන්තර ඔලිම්පික් උළෙලද 2021 වසර දක්වා කල් යෑමෙන් 2022 දී තවත් යොවුන් ඔලිම්පික් උළෙලක් පැවැත්වීම අධික බර ඉසිලීමක් බව ඔලිම්පික් කමිටු සභාපතිවරයා පවසයි.
‘‘මෙය සැබවින්ම සෑම කෙනකුටම අධික බර වැඩක්. 2022 බීජිං නුවරදී ශීත ඔලිම්පික් උළෙල පැවැත්වීමටත් තියෙනවා. වසර තුනක් වැනි කෙටි කාලයක් තුළදී අපට ජාත්‍යන්තර ඔලිම්පික් තරගාවලි පහක් පැවැත්වීමට සිදුව තියෙනවා. නමුත් ඒක අමාරු කර්තවය්‍යයක්. කොහොම වුණත් යොවුන් ඔලිම්පික් උළෙල කල් දැමීමේ ප‍්‍රවෘත්තියෙන් ලොව බොහෝ තරුණ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කළ කිරීමට පත්වනු ඇති. නමුත් ඒ සියලූ දෙනා අවබෝධයෙන් මේ ගැන සිතන්න. ඒ අය වෙනුවෙන් මගේ කණගාටුව ප‍්‍රකාශ කරනවා.’’ යැයි තෝමස් බැච් අදාළ නිවේදනයෙන් පසුව පැවසීය.
යොවුන් ඔලිම්පික් උළෙල සඳහා ක‍්‍රීඩා 35 ක් යටතේ ඉසව් 244 ක් පැවැත්වීමට නියමිතව තිබුණි. ඊට අමතරව තවත් ක‍්‍රීඩා කිහිපයක්ම මෙම තරගාවලියට ඇතුළත් කර ඇති අතර බාලක සහ බාලිකා ඉසව් 115 බැගින් තරගාවලියට ඇතුළත්ව තිබුණි.