සිම්බාබ්වේ පිතිකරුවෝ තට්ටු දමමින් ශ‍්‍රී ලංකාවට පීඩනය දෙති

Zimbabwe's Prince Masvaure (R) celebrates after scoring a half-century (50 runs) with his teammate Zimbabwe's Kevin Kasuza (L) during the first day of the first Test cricket match between Zimbabwe and Sri Lanka at the Harare Sports Club in Harare on January 19, 2020. (Photo by Jekesai NJIKIZANA / AFP)

ශ‍්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර හරාරේ නුවරදී ආරම්භ වූ පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට සත්කාරකයන් කඩුලූ 2 ක් දැවී ලකුණු 189 ක් ලබා සිටියේය. ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් විසින් පළමු දිනය අවසන් වන විට යවන ලද පන්දුවාර 84 න් 32 ක්ම නිලකුණු පන්දුවාර වීම විශේෂත්වයකි.
පළමු වරට හරාරේ ක‍්‍රීඩාංගණයේදී සිම්බාබ්වේ පිතිකරුවන් තිදෙනකු අර්ධ ශතක වාර්තා කිරීමට මෙම තරගයේදී සමත් විය. ඔවුන් ලකුණු ලබා ගන්නවා වෙනුවට තට්ටු දමමින් ශ‍්‍රී ලංකා පිල හෙම්බත් කරද්දී මුල් පෙළ පිතිකරුවන් තිදෙනාම අර්ධ ශතක ලබා ගත්තේය.
සිම්බාබ්වේ පළමු ඉනිම ඔසවා තැබීමේ වගකිම කරට ගත් ආරම්භක පිතිකරුවන් දෙදෙනා පන්දු 301 ක් සිය අන්ත දෙක රැුක ගනිමින් ශ‍්‍රී ලංකා පිල වෙහෙසට පත් කරද්දී ලසිත් ඇඹුල්දෙණිය විසින් ප‍්‍රින්ස් මස්වාරිව දවා ගත්තේය. තෙවැනි ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කරන ප‍්‍රින්ස් පළමු ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ අතර ඔහු පන්දු 149 කදී හතරේ පහර 7 ක් සිය අර්ධ ශතක ඉනිමට ඇතුළත් කර තිබුණි.
යොවුන් ක‍්‍රීඩකයන් තිදෙනකුට ටෙස්ට් වරම් ලබාදීමට සිම්බාබ්වේ ක‍්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කරද්දී ඉනිම ඇරඹූ 26 හැවිරිදි කෙවින් කසූෂා සිය මංගල ටෙස්ට් තරගයේදීම අර්ධ ශතකයක් ලැබීමට වාසනාවන්ත විය. ඔහු ළහිරු කුමාරගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවන විට මිනිත්තු 320 ක් කඩුල්ලේ රැුදී සිටිමින් පන්දු 214 කට මුහුණ දී හතරේ පහර පහක් සහ හයේ පහරක් සමග ලකුණු 63 ක් ලබා සිටියේය.
මුළු ලකුණු සංඛ්‍යාව 164 ක් වන විට සිම්බාබ්වේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ක‍්‍රීඩාගරයේ අසුන්ගෙන තිබුණද අංක තුන පිතිකරුවා වශයෙන් පැමිණි 34 හැවිරිදි ක්‍රෙග් අර්වින් සිව්වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් ශ‍්‍රී ලංකා පිල තවදුරටත් වෙහෙසට පත්කිරීමට සමත් විය.
ශ‍්‍රී ලංකා පිල මෙම තරගයේදී පිතිකරුවන් හත්දෙනකුගෙන් සහ පන්දු යවන්නන් සිව්දෙනකුගෙන් සන්නද්ධව තිබුනි. හරාරේ තණතීරුවද පන්දු යවන්නන්ට සහයක් ඊයේ දිනයේදී නොලැබුණද සිම්බාබ්වේ පිතිකරුවන් ඉවසිලිවන්තව දියත් කළ පිති ප‍්‍රහාරය ශ‍්‍රී ලංකාවටද කදිම පාඩමකි.