ක්‍රිකට් පරිපාලනය පන්නා දමන්න ක්‍රීඩා ඇමැතිට ශක්තියක් නැහැ – අර්ජුන කියයි

වත්මන් ක්‍රිකට් පරිහානියට වගකිව යුතු තිලංග සුමතිපාලගේ පාලනය ඉවත්කර දැමීමට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරට ශක්තියක් නැති බව ඛනිජ තෙල් අමාත්‍ය සහ හිටපු ටෙස්ට් නායක අර්ජුන රණතුංග පවසයි.
‘කැප්ටන්ලා මාරු කරනවා. ක්‍රීඩයන් මාරු කරනවා. වැඩ කරන සේවකයන් මාරු කරනවා. හැබැයි සභාපති හෝ උප සභාපති තවමත් ඉන්නවා. ඒක මාරු කරන්න ක්‍රීඩා ඇමැතිවරයාට ශක්තියක් නැහැ. මමත් ඔහුට මේ ගැන දන්නවලා තියෙනවා. මම හිතන විදිහට ක්‍රීඩා ඇමැතිට එහෙම කරන්න බැරි ඔහුට වඩා ක්‍රිකට් පරිපාලනය ශක්තිමත් හින්ද වෙන්න ඇති. ඒකට ඉතිං මිනිස්සු හිනා වෙන්නෙ කී්‍රඩා ඇමැතිට මිසක් මට නෙමෙයි.’ අර්ජුන මහතා පවසයි.
තවදුරටත් රණතුංග ක්‍රිකට් සම්බන්ධයෙන් මෙසේ පැවසීය. ”දැන් චන්දික හතුරුසිංහව ගෙනල්ලා තියෙනවා. තව ටික දවසකින් තරග පැරදුනොත් ඒක හතුරුසිංහගෙ පිට දාලා පරිපාලකයෝ බේරෙයි. අවුරුදු දෙකක් තුළ මේ පරිපාලනය ක්‍රිකට් නැති කළා. මේ නරක තත්ත්වය ඉදිරියටත් ගියොත් ඒක අනිත් ක්‍රීඩාවලටත් හොඳ නැහැ.”