එක්දින නායකත්වයට මැතිව්ස් සහ චන්දිමාල්ව යෝජනා කරයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට හෝ දිනේෂ් චන්දිමාල්ට ලබා දිය යුතු බව නව ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ විසින් ක්‍රිකට් තේරීම් කමිටුවට සහ බළධාරීන්ට යෝජනා කර තිබේ.
ඇන්ජලෝ මැතිව්ස්ගේ අත්දැකීම් සම්භාරයත් සමග 2019 වන තෙක් ඔහුව නායකත්වයට පත් කරන ලෙසත් ඔහුගේ උපනායකයා ලෙස දිනේෂ් චන්දිමාල් පත්කරන ලෙසත් හතුරුසිංහ යෝජනා කර තිබේ. එසේ නොවන්නට ඉදිරියේදී පිටිය මැදදි තමාට අවශ්‍ය තරග රටාව කරගෙන යෑමට වෙනත් සුදුස්සකු ශ්‍රී ලංකා කණ්ඩායම සතුව නොසිටින බැවින් එම පත්කිරීම් සිදුකිරීමේ අවශ්‍යතාවද හතුරුසිංහ විසින් අදාළ බළධාරීන් දැනුවත් කර තිබේ.
ඇන්ජලෝ මැතිව්ස් විටින් විට ආබාධයන්වලට ලක්වීම හේතුවෙන් ඔහු නොමැති වුවහොත් දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායම භාරදිය හැකි බැවින් චන්දිමාල්ව උපනායකත්වයට පත්කිරීම අනිවාර්්‍ය බව හතුරුසිංහ පවසා ඇතැයි වර්තා වේ. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා වන දිනේෂ් චන්දිමාල් එහිදී සිම්බාබ්වේ තරගාවලිය 1-0, පාකිස්තාන් තරගාවලිය 2-0 ජය ගැනීමට සමත් වූ අතර ඉන්දියානු තරගාවලිය 1-0 ක් ලෙස පරාජය කර ගැනීමට කණ්ඩායම මෙහෙයවූ ආකාරයද එහිදී කතා බහට ලක්ව තිබේ.