ලොකු තරගාවලියක් කියා ලෝකයටම ලොකු බොරුවක්

කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් ශ‍්‍රී ලංකාවේ හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ නම් යොදා අසත්‍ය ප‍්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියක් පැවැත්වෙන බව ප‍්‍රචාරය කරමින් සිටියි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මේ සම්බන්ධව කිසිවක් නොදන්නා අතර වත්මන් තරුණ ක‍්‍රීඩකයන්ගේ නම් කිහිපයක්ද කණ්ඩායම් සඳහා ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.
ඌව විස්යි විස්ස ප‍්‍රිමියර් ලීග් නමින් ප‍්‍රචාරය කරන මෙම තරගාවලියේ කණ්ඩායම් හතරේ නායකයන් වශයෙන් තිලකරත්න ඩිල්ෂාන්, ෆර්විස් මහරුෆ්. අජන්ත මෙන්ඩිස් සහ තිලාන් තුෂාර නම් කර තිබේ. නමුත් එම කිසිම ක‍්‍රීඩකයකුට එවැනි තරගාවලියකට ආරාධානයක් ලැබී නොමැති බවත් කවුරුන් හෝ අසත්‍ය ප‍්‍රචාරයක් කරන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
ලොව පුරා ප‍්‍රසිද්ධ මාධ්‍ය ජාලා කිහිපයකම මෙම තරගාවලිය පැවැත්වෙන බව වාර්තා කර තිබු අතර එහිදී තරගය යු ටියුබ් සහ ෆේස් බුක් ඔස්සේ සජීවීව නැරඹිය හැකි බවද සඳහන් කර තිබුණි. තරගාවලියේ අනුග‍්‍රාහකයන් වශයෙන් මෙරට ප‍්‍රධාන වෙළෙඳ සමාගම් කිහිපයක්ම නම් කර තිබුණද එම සමාගම්ද අදාළ තරගාවලිය් සම්බන්ධව කිසිවක් නොදන්නා බව ‘දිවයින’ කළ සොයා බැලීමකදී අනාවරණය විය.
මේ දිනවල ඔස්ටේ‍්‍රලියාවේ සිටින තිලකරත්න ඩිල්ෂාන්ව මොනරාගල හොරෙන්සස් යන කණ්ඩායමකට නම් කර තිබේ. නමුත් ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේද මෙය විශේෂ ප‍්‍රවෘත්තියක් වශයෙන් පළ කර තිබුණේ තරගාවලිය ඊයේ (29 දා* ආරම්භ කිරීමට නියමිතව තිබුණු බැවිනි. ජාත්‍යන්තර මාධ්‍යද මුලා කරමින් මෙවැනි බොරු ප‍්‍රචාරය යවන්නේ කවුරුන්ද යන්න සොයා බැලීම අත්‍යඅවශ්‍ය කරුණකි.
තරගපාවාදීම් සම්බන්ධව විවිධ විවේචන සහ අදහස් කරළියට පැමිණෙද්දි ගෝලීය වශයෙන් අසත්‍ය තරගාවලියක් ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන බව ප‍්‍රචාරය කිරීම මෙරට ප‍්‍රතිරූපයට එතරම් හොඳ නැති බව මේ සම්බන්ධව වගකිව යුතු පාර්ශ්ශව අවබෝධ කර ගත යුතුය. මෙහි වගකීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට හෝ ක‍්‍රීඩා අමාත්‍යාංශයට ගැනීමට නොහැකි වුණත් ලෝකයටම අසත්‍ය ප‍්‍රචාර යැවීම සම්බන්ධව රජයේ වගකිව යුතු පාර්ශ්ශව අවධානය යොමු කළ යුතුවේ.
මීට පෙරද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සහභාගී කරගනිමින් ටී 10 තරගාවලියක් පවත්වන බවට අසත්‍ය වාර්තා පළ වු අතර ඒ සම්බන්ධව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ කොන්ත‍්‍රාත්ගතව සිටින කිසිම ක‍්‍රීඩකයකු එවැනි තරගාවලියකට සහභාගි නොවන බවත් ඒ සඳහා ඉල්ලීමක්ද කර නොමැති බවයි.