තේරීම් බලය සමග හතුරුගෙන් ක්‍රිකට් හදන පාලනයක්

Sri Lanka's newly appointed cricket head coach Chandika Hathurusingha speaks during a media briefing in Colombo, Sri Lanka, Wednesday, Dec. 20, 2017. (AP Photo/Eranga Jayawardena)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා අවශ්‍ය ශක්තිය තමා සතු බවත් එය ඉදරියේදී දැක ගැනීමට හැකි වනු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස නිල රාජකාරිය ආරම්භ කිරීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී හතුරුසිංහ වැඩිදුරටත් මෙසේ පැවසීය.
‘ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම පසුබැසීමකට ලක් වෙලා තියෙනවා. මට තේරෙන විදිහට ක්‍රීඩයන්ගේ දක‍ෂතාවල අඩුවක් නැහැ. ඒ සියලූ දේ කළමණාකරනය කරමින් එක දිගට පවත්වා ගැනීමට නොහැකි වීම තමයි තියෙන ගැටලූව. මම තවම ආව විතරයි. ඉදිරියේදී බලනවා සෑම පාර්ශ්ශවයක් සමගම සාකච්ඡා කරල අවශ්‍ය කටයුතු කරන්න.’ යනුවෙන් හතුරුසිංහ පවසයි.
බංග්ලාදේශයේ පුහුණුකරු තනතුර අතහැර දැමුවේ පෞද්ගලික හේතුවක් මත බවත් තමා සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සමග අත්සන් කරන ලද කොන්ත්‍රාත්තුවේ ඕනෑම වෙලාවක මාස තුනක් ඇතුළත දන්වලා ඉවත්විය හැකි වගන්තියක් තිබූ බවත් හතුරුසිංහ පවසයි.
‘මට මේ තනතුර ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. මොකද හරි වෙලාවට මට අවස්ථාව ලැබුණා කියලා මම හිතනවා. පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සමග වැඩ කරන විට කලකිරීම් ඇති වුණා. නමුත් මම හැමදාම ඒ කලකිරීම් හිත හිත ඉනනේ නැහැ. මම ඒ සියල්ල අමතක කරල ඉදිරියට යන්න උත්සහ කරන කෙනෙක්. එදා තිබුණ කලකිරීම් ගැන හිතුවනම් මට අද රටට වැඩක් කරන්න තියෙන අවස්ථාව නැති වෙනවා.’
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකතවය යනු හිසේ ඇම්මට කොට්ට මාරු කරන්නාක් මෙන් මාරු වන යුගයක හතුරුසිංහ ඒ සම්බන්ධව මෙසේ පැවසීය. ”ටෙස්ට් වලට එක් නායකයෙක් වගේම එක්දින සහ විස්සයි විස්සට එක් නායකයෙක් හිටියොත් හොඳයි. නමුත් මම තවම තේරිම් කමිටුව සමග සාකච්ඡා කරලා නැහැ. ඒ නිසා මට ඒ දේවල් කියන්න බැහැ. නමුත් මම මුවර්ස්වල, සිඩ්නිවල සහ බංග්ලාදේශයේ කළ සැලසුම් ඉතාමත් සාර්ථක වුණා. ඒ නිසා සැලසුම් ශ්‍රී ලංකාවේදීත් ක්‍රියාත්මක කරනවා.”
තමාගේ සහය පුහුණුකරුවන් ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන රාශියක් ශ්‍රී ලංකා ක්‍රිකට් සමග රාජකාරී කරන බවත් එබැවින් අලූත් සහයකයන් අවශ්‍ය නොවන බවත් ඉදිරියේ එසේ අවස්ථාවක් තිබුණොත් සලකා බැලිය හැකි බවත් හතුරුසිංහ පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ජය පරාජයට වගකිව යුත්තා ලෙස චන්දික හතුරුසිංහගේ කරමත වගකීම පටවනවාත් සමග ඔහුට තේරීම් සම්බන්ධවද කටයුතු කිරීමේ අවස්ථාව අදාළ රාජකාරියට ඇතුළත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කි්‍රකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවසුවේ, ‘අපේ කී්‍රඩා ව්‍යවස්ථාව අනූව පුහුණුකරුවකුට තේරීම් කමිටුවක කටයුතු කරන්න බැහැ. නමුත් ක්‍රීඩා ඇමැතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කරල ඒ අවස්ථාව හතුරුසිංහට ලබාදෙන්න කියල නිදහස ලබාදීලා තියෙනවා. ඒ වගේ කිසිම ඇගිලි ගැසීමකින් තොරව හතුරුසිංහට නිදහසේ රාජකාරි කරන්න වටපිටාවක් තියෙනවා.’ යනුවෙන පැවසීය.
චන්දික හතුරුසිංහ රාජකාරිය අරඹන පළමු තරගාවලිය ලබන මස බංග්ලාදේශය සමගින් පැවැත්වෙන අතර හතුරුසිංහ මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුම ක්‍රිකට් උප සභාපති කේ.මතිවානන්, ක්‍රිකට් සභාති තිලංග සුමතිපාල සහ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුන් සමග කර තිබේ.
උපුටා ගැනීම දිවයින ඇසුරෙනි