හතුරු පැත්තකට කර ලංකාවට මිකී ආතර් ගේන්න ශ්‍රී ලංකා ක්‍රිකට් සැරසෙයි

කෝසල ගමගේ
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරයට පාකිස්ථානු කණ්ඩායමේ හිටපු පුහුණුකරු දකුණු අප්‍රිකාණු ජාතික මිකී ආතර් කැදවීමේ සූදානමක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි.
හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ කොන්ත්‍රාත්තුවද මේ දක්වා හරිහැටි අවසන් කර නොමැති අවස්ථාවක මෙවැනි තීරණයකට එළැඹීම විශේෂත්වයක් වන අතර මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් සහ මිකී ආතර් අතර කිසිදු ආකාරයේ ගිවිසුම් ගත වීමක් සිදුව නොමැති බවද වාර්තා වේ.
කෙසේවෙතත් එළඹෙන පාකිස්ථානු සංචාරයට පෙරාතුව මිකී ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්වීමට වැඩි ඉඩක් පවතින බවද වාර්තා වේ. මීට පෙරාතුව දකුණු අප්‍රිකාණු කණ්ඩායමේ සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේද පුහුණුකරු ලෙස කටයුතු කර ඇති මිකී පාකිස්ථානු කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් එම කණ්ඩාය‌ම 2017 වසරේ ශූරයන්ගේ කුසලානයේ ජයග්‍රාහකයින් බවට පත් කිරීමට සමත්වූ අතර පාකිස්‍ථානු කණ්ඩායම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පත්කිරීමටද සමත්විය.