“නිජබිම සටන” අන්තර් සමාජ පිරිමි සත් සාමාජික හොකී තරග මාලාවේ ශූරතාව කාටද

තීරණාත්මක අවසාන මහා තරගයේදී  පෙර පෙළ ආක්‍රමණික ක්‍රීඩක මොහොමඩ් මනාසීර් එල්ල කරන ලද ගෝලය
සමගම පෙරමුණ ගනිමින්  01  –  00 ක ජයග්‍රහණයක් වාර්තා කරගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉකුත් සති අන්තයේ මාතලේ එඩ්වඩ් ද සිල්වා ක්‍රීඩාංගනයේදී පවත්වන ලද 20 වන “නිජබිම සටන” අන්තර් සමාජ පිරිමි සත් සාමාජික හොකී තරග මාලාවේ ශූරතාව දිනා ගැනීමට සමත් වූහ.
ජයග්‍රහි ගුවන්හමුදා පිලට මුදලින් රුපියල් පනස් දහසක් සමගින් ” විජය ආදි ශිෂ්‍ය සංගම් අභියෝග කුසලාන” හිමිවිය
අවසාන මහා තරගයේ දී ගුවන් හමුදා පිල හමුවේ පරාජය ලැබූ  පොලිස් ක්‍රීඩා  සමාජ පිළට මුදලින් රුපියල් විසිපන් දහසක්සමගින්  අනුශූරතාව හිමි විය .
පිරිමි තරඟ මාලාවට සමගාමීව ක්‍රියාත්මක කරන ලද කාන්තා තරඟාවලියේ  ශූරතාව තහවුරු කර ගැනීමට යුද හමුදා පිල සමත් විය .නිජබිම සටන හොකී  ඉතිහාසයේ කාන්තා ශූරතාව යුද හමුදාව සතු වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂ සිද්ධියකි.එකී අනුශූරතාව නාවික හමුදා පිල සතුවිය .
මෙවර තරගමාලාවේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස  මාතලේ විජය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන  කලන මදුෂාන් ආනන්ද  ( ගුවන් හමුදාව ) අභිෂේක ලැබූ අතර  කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක් වන නදීෂා  සිතූමිනි( යුද හමුදාව )   දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තිළිණ ලැබුවාය .
පිරිමි අවසන් පූර්ව වටයේදී  ගුවන් හමුදාව හමුවේ යුධ හමුදාව පරාජය ලැබූ අතර  පොලිස් පිල හමුවේ නාවික හමුදා පිල පරාජය ලැබිීය.
කාන්තා අවසන් පූර්ව වටයේ දී යුද හමුදා පිල හමුවේ ප්‍රබල ගුවන්   හමුදා පිලත් නාවික හමුදා පිල හමුවේ ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ පිලත් පරාජය ලැබීය.
පිරිමි අංශයට පමණක් සීමා වූ “පළඟ” තරඟ මාලාවේ  ශූරතාව ගුවන් හමුදා (B) දිනාගත් අතර “බඳුන” අංශයේ ශූරතාව තහවුරු කර ගැනීමට යුද හමුදා ගජබා රෙජිමේන්තු පිල සමත් විය .