ප්‍රශ්නයක් නැතිනම් අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකය ආවේ ඇයි – රොෂාන් මාහානම

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් සොයා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පැමිණියේ කෙසේද යන්න තවමත් ප්‍රශ්නයක් බව හිටපු ටෙස්ට් ක්‍රීඩක රොෂාන් මාහානාම කළ කතාවකදී පැහැදිලි වේ.
තුන් අවුරුදු පාසල් ක්‍රිකට් සැලැස්ම එළිදැක්වීමේ උළෙල බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැති අවස්ථාවේදී රොෂාන් මහානාම මෙම අදහස් පළ කර සිටියේය.
‘මම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරයෙක් විදිහට වැඩ කරපු අන්තිම මාස තුනේ හෝ හයේ අයි.සී.සී. දූෂණ විමර්ශණ ඒකකයෙන් ශ්‍රී ලංකාවට කිහිප වරක්ම ආවා. ප්‍රශ්නයක් නැතිනම් එහෙම එයිද? ඒක ඔබලා තේරුම් ගත යුතුයි.’ යනුවෙන් මහානාම ප්‍රශ්නය තේරුම් ගැනීම අසන්නන්ට බාර කළේය.
තමන් ක්‍රීඩා කරන කාලයේ ක්‍රීඩා ඇමැතිවරයා කවුද යන්න තමන් නොදැන සිටියත් අද ඉන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ ස්ථානය අහිමි වූ විගස ක්‍රීඩා ඇමැතිවරයා අමතන බවත් මහානාම කලකිරීමකින් පැවසීය. යොවුන් ලෝක කුසලානයට පාසල් ක්‍රිකට් සංගමයෙන් නිලධාරීන් තිදෙනකු යෑමට වඩා ක්‍රීඩකයන් හෝ පුහුණුකරුවන් යෑම ඉතාමත් හොඳ බව පැවසූ මහානාම එය තමාගේ මතය බවද සඳහන් කර සිටියේය.