චන්දිමාල් සහ තරංග ක්‍රිකට් පුහුණුකරුවන් ලෙසත් සන්නද්ධ වෙයි

කෝසල ගමගේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ පුහුණු අධ්‍යාපන අංශය විසින් සංවිධානය කරන ලද දෙවැනි අදියරයේ පුහුණු පාඨමාලාව සඳහා පුහුණුකරුවන් 20 දෙනෙකු සහභාගි වූ අතර ඊට හිටපු ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් නායකයින්
දෙපළක් වන දිනේෂ් චන්දිමාල් සහ උපුල් තරංග ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක් විය.
ඉකුත් ඔක්තෝම්බර් මස 22 වැනිදා සිට පුරා දින 6 ක් තිස්සේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම පුහුණු පාඨමාලාවට ජාතික කාන්තා කණ්ඩායම නියෝජනය කරන ලද ක්‍රීඩිකාවන්
දෙපළක් වුණු ශ්‍රීපාලි වීරක්කොඩි සහ රන්දිකා ගල්හේනගේ ද ඇතුළුව පළමු පෙළ සහ පාසල් මට්ටමේ පුහුණුකරුවන් සහභාගිවූහ.
පෙර පැවැති පුහුණු ක්‍රමවේදයන් වෙනුවට නවීන පුහුණු ක්‍රමවේදයන් භාවිතය, ක්‍රීඩකයන් තුළ මානසික කුසලතා වර්ධනය කිරීම, ඵලදායී පුහුණු සැලසුම් ගොඩ නැගීම සහ කුසලතා වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳව වූ අවබෝධය පුහුණුකරුවන් තුළ වැඩි කිරීම මෙම පාඨමාලාවේ ප්‍රධාන පරමාර්ථයන් විය.
මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උත්තරීතර විනිසුරු මණ්ඩලයේ විනිසුරුවරයකු වන කුමාර් ධර්මසේන මහතා විසින් මානසික තත්ත්වය වර්ධනය කර ගැනීම පිළිබඳව වූ සැසිය පැවැත්වීමද මෙම පාඨමාලාවේ ගුණාත්මක භාවය වැඩිකරවන්නක් විය.