කල්ගිය නෙට්බෝල් නිලවරණය කඩිනමින් පැවැත්වීමට කමිටුවක්

ජාතික නෙට්බෝල් සංඟමයේ ව්‍යවස්ථාවට අනුව සෑම වසරකම මැයි මාසයේ සිට ඊලඟ වසරේ මැයි මාසය දක්වා පමණක් නිළදාරී මණ්ඩලය වලංගු වන අතර වසරින් වසර නිලවරණයක් පවත්වා නිලධාරීන් තෝරා පත් කර ගැනීම අනිවාර්යය වේ. දැනටමත් ප්‍රමාද වී ඇති නෙට්බෝල් සම්මේලනයේ නිළවරණය කඩිනමින්  පැවැත්වීමේ අවශ්‍යතාවය නව ක්‍රීඩා අමත්‍යංශය ලේඛම් චූලානන්ද පෙරේරා මහතා පෙන්වා දුන්නේය.

එළඹෙන 10 වැනිදා ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ විශේෂ මහා සභාවක් කැඳවා නිළවරණ කමිටුවක් පත් කර ගැනීමට ක්‍රීඩා අමත්‍යංශ ලේඛම් චූලානන්ද පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව තීරණයක් ගෙන තිබේ. මේ සාකච්ඡාවට නෙට්බෝල් සම්මේලනයේ සභාපති ට්‍රික්සි නානායක්කාර මහත්මිය , ලේඛම් ජයන්ති සෝමසේකරන් , විධායක කමිටු නිළදාරී පිරිස හා දිස්ත්‍රික් සංඟම් ප්‍රධානීන්ද මෙම සාකච්ඡාවට සම්භන්ධ විය.
2017 වසරින් පසුව 2018 වසරේ නිළවරයක් පැවැත්වීමට ප්‍රමාද වී ඇත්තේ මූල්‍ය විගණන ප්‍රමාද වීමෙන් බවද නෙට්බෝල් සම්මේලනය සතුව තිබූ ලක්ෂ 3.5 ක් සොයා ගැනීමට නොහැකි වී ඇතැයිද සභාපතිනී ට්‍රික්සි නානායක්කාර මහත්මිය පෙන්වා දුන් අතර එම මුදල් ගැටළුව ක්‍රීඩා අමත්‍යංශය මැදිහත්ව විසඳීමට එකඟතාවයක් ද  ඊයේ පැවැති සාකච්ඡාවේදී තීරණය විය.
දිස්ත්‍රික් සංඟම් කිහිපයක් කරන ලද ඉල්ලීම සලකා බලා ක්‍රීඩා පනතට අනුව නිලවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්මේන්තුව පසුගිය වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබුනද, සභාපති ට්‍රික්සි නානායක්කාර මහත්මිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වෙත ලිපියක් භාර දී ඇති බව සඳහන්.
එම ලිපිය මගින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වෙත දැනුම්දී තිබුණේ ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ හිටපු නිලධාරිනියන් විසින් 2017 වසරේ දී නෙට්බෝල් නිලවරණය කැඳවා ඇත්තේ වසර දෙකක කාල සීමාවකට බැවින් එනම් 2019 වසර දක්වා නිලවරණයක් පැවැත්වීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් ය. එබැවින් නෙට්බෝල් සම්මේලනයේ අනුබද්ධ දිස්ත්‍රික් ක්‍රීඩා සංඟම් 06ක් එක්ව කළ ඉල්ලීම ඉටු කිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්මේන්තුවට නොහැකි වූ බව තහවුරු විය.
තවද ජපානයේ පැවැත්වීමට නියමිත ආසියානු කණිෂ්ඨ නෙට්බෝල් තරඟාවලියට සභාගිවන ශ්‍රී ලංකා පිලේ පුහුණුකාරණිය තේරීමේ ගැටලු සහගත තත්වයක් ඇති බැවින් තෝරාගත් ක්‍රමවේදය ප්‍රසිද්ධ කරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය මෙහිදී සම්මේලනයට දැනුම් දී ඇත.
මේ තත්වය මත ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම එළඹෙන ජුනි මාසයේ එංගලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා නෙට්බෝල් තරඟාවලියට පෙර නව නිළදාරීන් මණ්ඩලයක් තෝරා පත් කර ගැනීමේ අවශ්‍යතාව ඇත.
සටහන : නුවන් ජයතිස්ස